විපක්ෂ නායක පෙන්වා දෙන ආර්ථික අනතුර සරසවි ප්‍රජාව තහවුරු කරති

ලෝක බැංකුවට අනුව ලංකාවේ 50% ක් දුප්පත් - 1/3ක් අන්ත දුප්පත් විරැකියාව 20%ක් දක්වා ඉහළ ගිහින් ජීවන වියදම දෙගුණයකින් වැඩිවෙලා හිසට වහලක් නැති මිලියනයක් නිර්මාණය වෙලා මේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික…
ලෝක බැංකුවට අනුව ලංකාවේ 50% ක් දුප්පත් - 1/3ක් අන්ත දුප්පත්
විරැකියාව 20%ක් දක්වා ඉහළ ගිහින්
ජීවන වියදම දෙගුණයකින් වැඩිවෙලා
හිසට වහලක් නැති මිලියනයක් නිර්මාණය වෙලා
මේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික මොඩලයෙන් මොනවද මේ ගැටලුවලට ලැබෙන විසඳුම්..?
ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න ආර්ථික විද්‍යාඥයින් Buying and Selling කට්ටියක්..!
IMF එකම කියන වැඩි වුන අවදානම් තත්ත්වය කුමක්ද යන්න ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතුයි
වර්තමාන රජයේ ආර්ථික මොඩලය ධනවතුන්ට පමණක් ආර්ථික වෘද්ධිය ළඟා කරනවා
ආණ්ඩුවේ උද්දච්චකම අතහැර විපක්ෂ නායකවරයා පෙන්වා දෙන පාරේ දැන්වත් යන්න
(අචින්ත මධුර)
බදාදා (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා විසින් වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගතයේදී නිර්මාණය වීමට නියමිත අභියෝග පිළිබඳව ආර්ථික දත්ත උකහා දක්වමින් පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ පරිදි IMF සංවිධානය සමඟ නව එකඟතාවයකට පැමිණීම මේ මොහොතේ ඉතා අත්‍යවශ්‍ය බවයි.
එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත දැක්වේ.
දැන්වීම
" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් දිගින් දිගටම ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තිබෙන වැඩසටහනේ යම් සංශෝධනයන් සිදුකර ගැනීමේ තියෙන වැදගත්කම. ඒ වැදගත්කම මේ වන විට ආර්ථික විද්‍යානුකූලව පොළොවේ මතුවෙලා තියෙන තත්ත්වයන් එක්ක කෙතෙක් දුරට අවශ්‍ය වන්නේද කියන එක තමා මගේ මූලික වශයෙන් අදහස් දැක්වීම.
දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා කියන්නේ Bretton Woods නිවුන් සහෝදරයෝ දෙන්නගෙන් එක්කෙනෙක්. එතකොට එයාගේ සහෝදරයා තමයි ලෝක බැංකුව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමයි අපි මේ වන විට යම් යම් එකඟතා ඇතිකරගෙන තිබෙන්නේ. ණය ප්‍රතිව්‍යුහ ගත කර ගැනීමේ ක්‍රියාවලියත් සමඟ DSA එක යන ගමන් මග.
ලෝක බැංකුවේ දත්ත විශ්ලේෂණය කළොත් එහෙම, ලෝක බැංකුව සාමාන්‍යයෙන් අන්ත දුක්ඛිත දරිද්‍රතාවය හඳුන්වන්නේ දිනකට ඩොලර් 4.2කට අඩු ආදායමක් ලෙසට. ඒ අනුව ලෝක බැංකුව පෙන්වා දෙන අන්ත දුක්ඛිත දරිද්‍රතා ජනගහනය 2025 වර්ෂයට අදාලව 22.4% ක්. ඒගොල්ලෝ ඒක පුරෝකථනය කරලා නවතින්නෙ නැහැ. 2027 වර්ෂයේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රතිශතය 20%ට වැඩියි කියන එක තමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් පෙන්වා දෙන්නේ.
අනික් අතට ලෝක බැංකුව විසින් නිර්මාණය කරලා තියෙනවා තවත් පැතිකඩ තුනක් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන තත්ත්වය සහ තවත් දර්ශකාංක 10ක් මත පදනම් වන බහුමාන දරිද්‍රතා දර්ශකයක්. මෙම දර්ශකයට අනුව ලංකාවේ ජනගහනයෙන් මේ වන විට 50%ක් පමණ දුප්පත්. වතු වංශයේ මේක 68%ක්.
ඒ වගේම මේ වන විට මන්ද පෝෂණය ඉහළ ගිහිල්ලා තියෙනවා.
ලෝක බැංකු අධ්‍යයනයකින් කියනවා, අර අන්ත දරිද්‍රතාවයට ගත්ත 22%ට යම් පොඩි උඩකින් ඉන්නවා 10%ක් කොයි වෙලාවේ අන්ත දරිද්‍රතාවයට වැටෙයිද කියලා කියන්න බැරි කියලා. ඒ අනුව සරලව ගත්තොත් රටේ ජනගහනයෙන් 1/3ක් පමණ අන්ත දරිද්‍රතාවයෙන් පසු වෙනවා.
එතකොට වැදගත්ම දේ තමයි මේ දරිද්‍රතා දර්ශක සියල්ල ලෝක බැංකුව විසින් පිළියෙල කරනු ලැබුවේ දිත්වා සුළි කුණාටුවට පෙර වීම. එතකොට ද්විත්වා සුළි කුණාටුවෙන් පසුව ලෝක බැංකු ගණනය කිරීම් වලට අනුව ඩොලර් බිලියන 4.1ක සමස්ත පාඩුවක් රටට වෙලා තියෙනවා. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක්. විශේෂයෙන්ම මිලියන 2ක මිනිස්සුන්ට මෙම සුළි කුණාටුව බලපාල තියනවා. පවුල් ලක්ෂ 5ක් පමණ පිරිසකට දැඩි ලෙස හානි සිදුවෙලා තියෙනවා. එතකොට අපි අර කරපු දරිද්‍රතා අර්ථ දැක්වීම් සියල්ල මේ සුළි කුනාටුවට පෙර පැවති තත්වය.
ඊළඟට මූලිකම තර්කය මා නගන්නේ රටේ ජනගහනයෙන් 1/3ක් පමණ මේ වන විට අන්ත දුප්පත්. විශේෂයෙන්ම අවම මූලික අවශ්‍යතා පිරිමහගන්නට පුද්ගලයෙකුට 2021 දී රුපියල් 8000ක් අවශ්‍ය නම් දැන් ඒක රු 16000ක් වෙලා තියෙනවා. ජීවන වියදම දෙගුණයක් වෙලා තියෙනවා. ඊළඟට ස්ථිර නිවාසයක් නැති ජනගහනය ගත්තොත්, කුණාටුවට පෙර තත්ත්වය තුළ අපි ගත්තොත් ලයිම් කාමර තියෙනවා 160000ක්. වහලක් නැති ජනතාව ඉන්නවා මිලියනයක්. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 15%කට පමණ වහලක් නෑ.
මං ගොඩාක් තර්ක ගේන්නේ නෑ. එකක් දුප්පත්කම වැඩිවෙලා තියෙනවා. ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. නිවසක් නැති පිරිසක් රටේ ඇතිවෙලා තියෙනවා. ඒ අතරේ ද්විත්වා සුළි කුණාටුවත් එක්ක මේ තත්ත්වය වඩාත් බරපතළ අතට හැරිලා තියෙනවා. ඒ අතර තරුණ තරුණියො අතර රැකියා ප්රශ්නය බලවත් වෙලා තියෙනවා. 20% කට වැඩි ප්‍රමාණයක් විරැකියාවෙන් ඉන්නවා. විදුලි බිල්, ජල බිල් ගෙවා ගත නොහැකි පිරිස් අනන්තයි මේ වන විට.
එතකොට අර ද්විත්වා සුළු කුණාටුවෙන් වුණේ ආර්ථික අර්බුදය හමුවේ බැටකමින්, IMF එකඟතා හමුවේ දැඩි බදු බරකින් පීඩනයට ලක්වෙලා හිටිය අපිට ගහෙන් වැටුන මිනිහට ගොනා එන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. දැන් ඒක නිසා තමයි විපක්ෂ නායකවරයා දිගින් දිගටම කිව්වේ, මේක දැන් රටට ඵලදායි ලෙස ප්‍රතිසංස්කරණය කරගත හැකියි කියන එක.
ඉතින් මේ තත්ත්වය තුළ අපි මේ ලෝකය තුළ පිළිගන්න සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120කගෙන් Call එකක්, ඒ කියන්නේ ඔවුන් ලිපියක් මගින් දැනුම් දුන්නා, ලෝක බැංකුවෙත් හිටපු ආර්ථික විද්‍යාඥයකු වන නොබෙල් ත්‍යාගලාභී Joseph E. Stiglitz, ඒ වගේම MIT ආර්ථික විද්‍යාඥයකු වන Ghosh, මේ අය කිව්වා ඉක්මනින්ම නැවත වතාවක් ණය ප්රතිවිරුව ගත කරන ක්‍රියාවලියක් පටන් ගත යුතුයි කියන එක.
මං අහන්න කැමතියි මොකක්ද ආණ්ඩුවේ ස්ථාවරය මේ ලෝකයම පිළිගන්න සංවර්ධන ආර්ථික විද්‍යාඥයන් 120 දෙනෙක් ලංකාවේ මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ මේ එකඟ වී තියෙන වැඩසටහන යා නොහැකියි. එය නැවත සාකච්ඡා කළ යුතුයි කියන එක පිළිබඳව ආණ්ඩුවේ මතය මොකක්ද කියලත් මං අහන්න කැමතියි. ඒ වගේම IMF ආයතනයේම සහෝදර ආයතනය වන ලෝක බැංකුව අනාවරණය කරන මෙම තියුණු ආර්ථික ගැටලු වලට ආණ්ඩුව අනුගමනය කරන මෙම ආර්ථික මොඩලය තුළ මොකක්ද ලැබෙන සෙත?
දැන් මේ ආණ්ඩුවට සම්බන්ධ ආර්ථික විද්‍යාඥයන් පිළිබඳ සොයා බලන විට ඔවුන් ආර්ථික විද්‍යාඥයින් නොව ඔවුන් මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙන්නේ Chamber of Commerce එක හරහා. ඒකෙ වැඩ කරපු අය තමා මේ ආණ්ඩුවට උපදෙස් දෙන්නේ. ඔවුන්ගේ ස්වභාවය තමා Real Production එකට වඩා, ඒ අය නිකන් Buying and Selling කට්ටියක් විදියට තමා ක්‍රියාත්මක වුණේ. නිකන් වෙළඳාමට සම්බන්ධ අය විදිහට තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් මේ අය තමයි බය වෙලා ඉන්නේ නැවත සාකච්ඡා කළොත් ප්‍රශ්න ඇතිවෙයි කියන එකට. එහෙම බය විය යුතු නෑ.
දැන් මම ඔබට කියවන්නම්, IMF එකම ඔවුන්ගේ නොම්බර 25/235 මාධ්‍ය නිවේදනය තුළ ඔවුන්ම දක්වනවා " The economic outlook is positive but downward risk has increased " කියලා. දැන් මේ ලංකාවේ කියනවනේ 2028 අර්බුදයක් එන්නේ නෑ. එහෙම කියලා. දැන් එතකොට මං මේ ආණ්ඩුවෙන් අහනවා ඔබ රටට පැහැදිලි කරනවා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කියන කෑල්ල? මොකක්ද ඒ වැඩිවුන අවදානම් සහගත තත්ත්වය කියන එක.
එහෙනම් IMF එකම කියන්න පුළුවන් අනාගතයේ, අපි මේක පෙන්වා දී තිබෙනවා ඔබ එයට ක්‍රියා නොකිරීම ගැටලුවක් කියලා. එහෙනම් දැන් අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි රටට රජය පැත්තෙන් මොකක්ද අපට ඇති වෙලා තියෙන අවදානම් සහගත තත්වයන් කියන එක.
අනෙක් අතට අපි දන්නවා මේ DSA එක පදනම් වෙලා තියෙන්නේ උපකල්පන මත. මේ උපකල්පන එකක් අපිට කියන්න පුළුවන් මේ ප්‍රාථමික ගිණුමේ ශේෂය. මේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ගණනය කරද්දී විශේෂයෙන්ම දේශීය වශයෙන් ගෙවිය යුතු විශාල ණය සහ පොලී ප්‍රමාණයක් ඉන් අතහැරලා තමා මේ කියන්නේ. තාමත් මේ පිළිබඳ ගණනය කිරීමක් කරලා නැහැ.
අනික් අතට ආර්ථික වර්ධනයක් ඇතිවෙනවා. ඒක හොඳ දෙයක්. එය අවශ්‍යයි. හැබැයි ඒ වර්ධනය, අපි කියන්නේ සියලු දෙනාම සහභාගි කරගන්නා වර්ධනයක් විය යුතුයි යන්නයි. නමුත් අපිට පේන්නේ නැහැ වර්තමාන රජයේ ආර්ථික මොඩලය තුළ සියලු දෙනා අන්තර්ගත වෙනවා.
විශේෂයෙන්ම දුප්පතුන්ගේ දුප්පත්කම වැඩි වෙමින් පවතිනවා, එතකොට පහළ මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථික පීඩාව වැඩි වෙලා තියෙනවා, බදු ගෙවන්නන් තුළ බදු බර ඉතා ඉහළ වශයෙන් පැටවෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අර ආර්ථික වෘද්ධිය සියලු දෙනාට ප්රතිලාභ ලබා දෙනවා වෙනුවට, ණය ලබා දුන් පාර්ශ්වයන්ට ප්රතිලාභ ජනනය කරන තත්ත්වයක් නිර්මාණය වීමට නියමිත නිසයි විපක්ෂ නායකවරයා පුන පුනා කියන්නේ මේ එකඟතාවය පිළිබඳව නැවත සාකච්ඡා කොට රටට ගැලපෙන මොඩලයකට ගමන් කළ යුතු බව.