අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි වෙලා..?

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි වෙලා..?

අපනයන වල සැබෑ වර්ධනයක් සිදු නොවුනත්, රුපියල් හෝ ඩොලර් වලින් බලද්දී, කිසියම් වසරක් තුළ අපනයන ආදායම් වැඩි වෙනවා. එයට හේතුව උද්ධමනය නිසා ලෝකයේ හැම රටකම මෙන්ම බොහෝ වසර වලදී මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ…

අපනයන වල සැබෑ වර්ධනයක් සිදු නොවුනත්, රුපියල් හෝ ඩොලර් වලින් බලද්දී, කිසියම් වසරක් තුළ අපනයන ආදායම් වැඩි වෙනවා. එයට හේතුව උද්ධමනය නිසා ලෝකයේ හැම රටකම මෙන්ම බොහෝ වසර වලදී මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ යාමයි. ඒ නිසා කිසියම් වසරකදී "ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" ලැබී තිබීම ඉතාම සාමාන්‍ය කරුණක් මිසක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. එය කිසියම් වසරක් තුළ වැඩෙන වයසේ දරුවෙකුගේ බර වැඩිවීම වැනි දෙයක්.

රුපියල් වලින් බැලුවොත්, 2011-2022 කාලය ඇතුළත "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී නැත්තේ 2015 හා 2020 වසර දෙකේදී පමණයි. ඉන් පසුව, 2023 හා 2024 වසර දෙක තුළද 2022 වාර්තාව ඉක්මවා ගොස් නැත්තේ ඩොලරයක මිල අඩු වූ නිසායි. එසේ නොවන්නට, එම වසර වලදීද රුපියල් වලින් "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වෙනවා.

ඇමරිකාවේ උද්ධමනය ලංකාවට සාපේක්ෂව අඩු නිසා ඩොලර් වලින් බලද්දී "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" මේ තරම්ම සුලභ නැති වුනත්, ඒ තරම්ම දුලබත් නැහැ. 2011-2022 අතර වසර හතකදීම ඩොලර් වලින් බැලුවත් "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී තිබෙනවා. එසේ වාර්තා වී නැත්තේ වසර පහකදී පමණයි.

දැන්වීම

ඩොලර් වලින් බැලුවත්, රුපියල් වලින් බැලුවත්, දැනට ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් වාර්තා වී තිබෙන්නේ 2022 වර්ෂයේදීයි. ඊට හේතුව, දැනට ලෝක වෙළඳාමේ ඩොලර් අගය වැඩිම මට්ටමක තිබී ඇති වර්ෂය 2022 වසර වීමයි. 2023 හා 2024 වසර වලදී ලෝක වෙළඳාම පැවතුණේ 2022 මට්ටමට වඩා පහළින්.

කිසියම් වසරක "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම" පැවතීම වුවද ඉතාම සාමාන්‍ය දෙයක්. 2011-2022 කාලය ඇතුළත වසර හතකදීම එසේ සිදු වී ඇති අතර එසේ සිදු වී නැත්තේ වසර පහකදී පමණයි. සාමාන්‍ය කරුණක් ලෙස "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම" වාර්තා වන වසර වලදී ඩොලර් වලින් බැලු විට "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වෙනවා. මීට හේතුව ලංකාවේ අපනයන ආදායම බොහෝ දුරට ලෝක වෙළඳාමට සමානුපාතික වීමයි. මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව බොහෝ දුරට නොවෙනස්ව පැවතීමයි.

මෙම 2025 වසර තුළ නැවතත් "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම" වාර්තා වීමට නියමිතව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වීමක්ද සිදු වීමට නියමිතයි. නමුත් එය විශේෂ කරුණක් නෙමෙයි. 50%ක පමණ සම්භාවිතාවක් ඇති දෙයක්.

අපනයන ආදායම් වල සැබෑ වැඩි වීමක් සේ සැලකිය හැක්කේ එම ආදායම් වල ඩොලර් අගය ඩොලරයක වටිනාකම අඩු වීම ඉක්මවා වර්ධනය වන්නේනම් පමණයි. එහෙත්, රටක් ලෙස බලද්දී එවැනි වර්ධනයක් වුවද සතුටු විය හැකි වර්ධනයක් වන්නේ නැහැ. ඊට හේතුව එම මූර්ත ආදායම සැලකුවද, ලෝක වෙළඳාම වර්ධනය වෙද්දී ලෝකයේ බොහෝ රටවල් විසින් වර්ධනය කර ගනු ලැබීමයි. ඒ නිසා, ලංකාවේ අපනයන ආදායම් මූර්ත පදනමින් ඒ මට්ටමේම පැවතියද, අනෙක් රටවල අපනයන ආදායම් මූර්ත පදනමින් ඉහළ ගියහොත් ලෝක වෙළදපොළ තුළ ලංකාවේ පංගුව පහත වැටෙනවා.

රටක් ලෙස ලෝකය තුළ ලංකාවේ තත්ත්වය පවත්වා ගැනීමටනම් අවම වශයෙන් ලෝක වෙළඳපොළ තුළ ලංකාවේ පංගුව තිබෙන මට්ටමේ හෝ පවත්වා ගත යුතුයි. ඒ සඳහා අවම වශයෙන් ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ අපනයන ආදායම් වර්ධනය විය යුතුයි. ලංකාවට ලෝකය තුළ ඉදිරියට යාමට අවශ්‍යනම් මෙම පංගුව වර්ධනය කරගත යුතුයි. මෙය මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ පවා කතා කර තිබුණු දෙයක්.

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? සරල, මැජික් පිළිතුරක් මා ළඟ තිබුණානම් මම එය හොරා වගේ හංගාගෙන ඉන්නේ නැහැ. මා ළඟ එවැනි පිළිතුරක් නැහැ. ඒ වගේම, මේ ප්‍රශ්නයට ආර්ථික විද්‍යා න්‍යාය වලින් පමණක් පිළිතුරු හොයන්න බැහැ. එයින් ඔබ්බට ගිය දේශපාලනික හා උපාය මාර්ගික ප්‍රවේශයක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි ප්‍රවේශයන් අනුගමනය කරද්දී රටක් විදිහට කිසියම් මිලක්ද ගෙවන්න වෙනවා.

උදාහරණයක් විදිහට ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය එක්ක ගැට ගසන එක එක් ප්‍රවේශයක්. නමුත් හරියකට ප්‍රතිඵලයක් ගන්නනම් ලංකාව කියන්නෙත් ඉන්දියාවේම කොටසක් කියලා සාමාන්‍ය ඉන්දියානුවන්ට ඒත්තු යන මට්ටමට ඔය වැඩේ සිදු විය යුතුයි. එහෙම කළාට පස්සේ ලංකාවට ඉන්දියාවෙන් තොර ස්වාධීන පැවැත්මක් නැති වෙනවා. ඔය විදිහේ උපාය මාර්ග මිසක් රැවුලත් කැඳත් බේරා ගත හැකි උපාය මාර්ග නැහැ. සිංගප්පූරුව ලෝක වෙළඳාම තුළ ඔවුන්ගේ පංගුව වැඩි කර ගත්තේ නොබැඳි පිළිවෙත් අත ඇරලා.

රටක් සතු ලෝක වෙළඳාම තුළ තමන්ගේ පංගුව වැඩි කර ගැනීම එය නැති කර ගන්නවා වගේ පහසු වැඩක් නෙමෙයි. නිදහස ලැබී දශක තුනක් යන්නත් කලින් ලංකාවට තමන් සතු වූ වෙළදපොළ පංගුවෙන් 90%ක්ම පහසුවෙන්ම නැති කරගන්නනම් පුළුවන් වුනා. ඒ ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින්. ඔව්. දැන් ඇමරිකාව අනුගමනය කරන්නෙත් ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති තමයි. ඒක වෙනම දෙයක්. මේ ලංකාවට සිදු වුන දෙය.

නිදහස ලැබෙන විට (1948දී) ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.0052ක් හෙවත් 0.52%ක්. 2024 වන විට මෙම පංගුව 0.00052ක් හෙවත් 0.052%ක්. හරියටම දහයෙන් එකක්. 1976 වන විට, ඒ කියන්නේ නිදහස ලබලා අවුරුදු 28ක් යන විට, ඔය කඩා වැටීම සිදු වෙලා ඉවරයි. එම වසර වන විට ලංකාවේ වෙළඳපොළ පංගුව 0.006 දක්වා පහත වැටිලා.

හැත්තෑ හතේ ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක ලංකාවේ ජනප්‍රිය අදහසක් මිසක් පිළිගත් විද්වත් මතයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සැලකෙන්නේ අනූව දශකයේදීයි. පෞද්ගලීකරණය කිරීම් ගොඩක් සිදු වුනේ එම දශකයේදීයි. නමුත් හැත්තෑ හතේදීත් යම් විවෘත වීමක් සිදු වුනා. එහි උදවුවෙන් ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව තරමක් ඉහළ ගියා. අනූව දශකයේදී තවත් ටිකක් ඉහළ ගියත්, දෙදාහ දශකයේදී නැවතත් ඒ වැඩිවීම ආපසු හැරවුනා. ඒ නැවතත් ආරක්ෂණවාදය හා ආර්ථික ජාතිකවාදය වෙත පසු බැසීමේ ප්‍රතිඵලයක් විදිහටයි.

ආර්ථික අර්බුදය පසු කර රටේ ආර්ථිකය නැවත හිස ඔසොවමින් තිබෙන පසුබිම තුළ මේ අවුරුද්දේ ලංකාවේ වෙළඳපොළ පංගුවේ යම් වැඩිවීමක් සිදු විය හැකි වුවත් එසේ අපේක්ෂා කළ හැක්කේ ඉතාම සුළු වෙනසක් පමණයි. නිදහස ලබද්දී ලෝක වෙළඳාමේ ඩොලර් සීයකින් ලංකාවේ පංගුව ඩොලර් ශත පණහක් පමණ. නමුත් දැන් පංගුව ඩොලර් ශත පහක් පමණයි. ඇමරිකාව තීරුබදු දමද්දී ලංකාවට කළ හැක්කක් නැති වී තිබෙන්නේ ඔය විදිහට ලංකාව ශත පහට වැටී තිබෙන නිසා. ඒ ඉන්න තැනින් ඉහළට යන්න ස්නේක් ඇන්ඩ් ලැඩර් වර්ගයේ සරල ඉනිමං නැහැ. ෂෝට්කට් නැහැ. රටේ තනි පුද්ගලයින්ට හා ආයතන වලට ලෝකය තුළ තරඟ කරලා වෙළඳපොළ අල්ලගන්න වෙනවා.

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි වෙලා..?

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි වෙලා..?

- ඉකොනොමැට්ටා -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න