අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

මහා බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු..!

මහා බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු..!

මුල්‍ය අර්බුදයේ පළමු විත්තිකරුවා මහා බැංකුවයි (මහාචාර්ය මිල්ටන් රාජරත්න) රටක ස්වෛරී භාවය ආරක්ෂා කර ගත හැක්කේ එහි භුමිය සේම මුදල ද ආරක්ෂා කර ගැනීමෙනි. භුමිය ආරක්ෂා කර ගැනීමට නොහැකිව මුදලේ අගය ආරක්ෂා…

මුල්‍ය අර්බුදයේ පළමු විත්තිකරුවා මහා බැංකුවයි 

මහා බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු..!

(මහාචාර්ය මිල්ටන් රාජරත්න) 

රටක ස්වෛරී භාවය ආරක්ෂා කර ගත හැක්කේ එහි භුමිය සේම මුදල ද ආරක්ෂා කර ගැනීමෙනි. භුමිය ආරක්ෂා කර ගැනීමට නොහැකිව මුදලේ අගය ආරක්ෂා කර ගැනීමට සහ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි වන විට එරටට මුල්‍ය ස්වෛරීත්වය අහිමි වේ. 

දේශීය මුදලේ අගය දරුණු ලෙස පිරිහීම හේතු කොට ගෙන ගෙන "Hyper Inflation" හෙවත් අධි උද්ධමනය හටගනී. මුදලේ අගය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරෙන්නේ රටක මහ බැංකුවටය. මහ බැංකුව සිය වගකීම පැහැර හරින විට උද්ධමනකාරී පීඩාවක් නිර්මාණය වේ. 

දැන්වීම

දේශීය මුදලේ අගය පිරිහීම සිදු වන්නේ මෙසේය. රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම නැත හොත් අයවැය පරතරය සැලකිය යුතු මට්ටමකින් දිගින් දිගට පවත්වා ගෙන යාම නිසා මුදල් අච්චු ගැසීමට සිදුවේ. එසේ මුදල් අච්චු ගැසීමෙන් මුදල් සංසරණය වර්ධනය වීම සහ අධික මුදල් සුලභතාවය හේතුවෙන් උද්ධමනය හට ගනී. එම තත්ත්වය මුදලේ අගය පිරිහීමේ එක් මුලාශ්‍රයකි. 

අපනයට වඩා ආනයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳ පරතරය හට ගෙන ඒ කරණ කොට ගෙන පැන නගින විදේශ විනිමය හිඟය නිසා විදේශ විනිමය පසු පස වැඩි දේශීය මුදල් ප්‍රමාණයක් ලුහු බැඳීම මගින් හට ගන්නා දේශීය මුදලේ සාපේක්ෂ පිරිහීම තවත් මුලාශ්‍රයකි. 

වෙළඳ හිඟය පියවීමට සේම අයවැය හිඟය පියවීමට ද ලබා ගන්නා විදේශ ණය ගෙවා දැමීමට ප්‍රමාණවත් විනිමය සංක්‍රාම හෝ ලාභ ඉපයුමක් නොමැති විට ගෙවුම් ශේෂ පරතරයට සරිලන විනිමය හෝ රන් සංචිත නොතිබෙන විට ද දේශීය මුදලේ පිරිහීම උග්‍ර අතට හැරේ. 

ශ්‍රී ලංකාවේ විනිමය අර්බුදය හට ගෙන ඇත්තේ මේ සියලු හේතු නිසා පමණක් නොව මහ බැංකුවේ මුදල් පාලන දුර්වලකම ද නිසාය. මහ බැංකුවේ කාර්යභාරය අනුව දේශීය මුදලේ අගය ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ වේ. ඊට දේශීය මුදලේ නිරපේක්ෂ අගය සේම විදේශ මුදල් විෂයෙහි සාපේක්ෂ අගය ලෙස ද ඇතුළත්වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා නොකිරීම සහ එම බැංකුව දේශපාලන බලපෑම්වලට අවනත වී ඒ ඒ ආණ්ඩු ආරක්ෂා කිරීමට මුල්‍ය ප්‍රතිපත්තිය යොදා ගත් නිසා මුදලේ පාලනය මහ බැංකුවෙන් ගිලිහී ගියේය. වෙසෙසින්ම ඩොලරයේ රුපියල් මිල වෙළෙඳ පොළ බලවේගවලට අනුව තීරණය වීමට ඉඩ නොදීම නිසා ඩොලරයට මහත් කළු කඩයක් නිර්මාණය විය. 

විදේශ සංක්‍රාම සඳහා නිසි රුපියල් වටිනාකමක් නොදී සංක්‍රාම සූරා කෑම සිදුවූ බැවින් සංක්‍රාම ද අඩපණ විය. විවෘත ආර්ථික ක්‍රමය හදා වඩා ගත් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවේ අනුග්‍රහය නොමදව ලැබිණ. 

ගෙවුණු වකවානුවේ දී පෞද්ගලික මුල්‍ය ආයතනවල හට ගත් නොයෙකුත් බිඳ වැටීම්වලට හේතු වූයේ ද මහ බැංකුව සිය මුල්‍ය ක්‍රමය පවත්වා ගැනීමේ වගකීම ඉටු නොකිරීමය. මේ අනුව ගත් විට මහ බැංකුව දශක ගණනාවක් සිය වගකීම ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අප රටේ මුල්‍ය අර්බුදය හට ගෙන තිබේ. එබැවින් වත්මන් මුල්‍ය අර්බුදයේ පළමු විත්තිකරුවා වන්නේ මහ බැංකුවයි. 

අතීතයේ සිටම ඉන්දියානු (Bank of India) මහ බැංකුව එරට මුල්‍ය ස්ථායිතාව ඵලදායි ලෙස පවත්වා ගැනීමට සමත්ව සිටී. ඒ බව ඉන්දීය රුපියලේ විනිමය අගය ඉහළ යාම, විදේශ සංචිත වර්ධනය වීම, උද්ධමනය පාලනය වීම යන සාක්ෂි ඔස්සේ තහවුරු වේ. 

ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ කෝපි වැවීම ආරම්භ කිරීමත් සමග ඉන්දීය මුල්‍ය (ප්‍රාග්ධනය) සැපයුම වැවිලි කර්මාන්තයේ ප්‍රචලිත විය. ඉඩම් සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ කාලයේ විවිධ මුල්‍ය අවශ්‍යතා ඉන්දියානුවන් විසින් සම්පාදනය කරනු ලැබීය. මේ තත්ත්වය මත එංගලන්තයට ලැබෙන අතිරික්තය පිළිබඳ ගැටලුවක් වර්ධනය වූ බැවින් වැවිල්ලක් ආරම්භ කිරීමට පැමිණෙන ඉංග්‍රීසි ජාතිකයන් පවුම් 3,000ක් වත් රැගෙන ආ යුතු බවට නීති පනවනු ලැබීය. එමෙන්ම හැටන් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ලංකා බැංකුව (Ceylon Bank) යනාදියෙන් සමන්විත බැංකු ක්‍රමයක් ද හඳුන්වා දීමට සිදු වූයේ ඉන්දියානු මුල්‍ය සැපයුම් කරුවන් අධෛර්ය කරවීමටය. එහෙත් බැංකු ක්‍රමය ආරම්භ වීමත් සමග ඉන්දියානු බැංකු ද ලංකාවේ ස්ථාපිත කෙරුණි. මේ කරුණුවලින් පෙනේනේ ඉන්දියාව මුල්‍ය පාලනය අතින් විශිෂ්ටතා පෙන්වා ඇති රටක් බවයි. 

ඉන්දියාව, සිය මහ බැංකුවට පමණක් නොව ප්‍රාන්ත රාජ්‍යවලට ද විශිෂ්ට ආර්ථික විද්‍යාඥයන්ගේ සේවය ලබා ගන්නා රටකි. එමෙන්ම ඉන්දියානු ආර්ථික විද්‍යාඥයෝ ලෝකයේ විශිෂ්ට මුල්‍ය ආයතනවල විධායක සහ උපදේශක තනතුරු හොබවති. මුල්‍ය ආර්ථික විද්‍යාව, සංවර්ධන ආර්ථික විද්‍යාව, මහ බැංකු කරණය සහ වාණිජ බැංකු කරණය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීනයන් ඉන්දියාව සතුය. 

පොතේ ගුරුන් හැරුණු විට ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැකි කිසිවෙකු සොයාගත නොහැක. ගණකාධිකාරීන්, ඉංජිනේරුවන් සහ පරිගණක ශිල්පීන්, ඇතුළු තවත් පිරිස් අප රටේ ආර්ථික විද්‍යාඥයන්ගේ කාර්යභාරය සියතට ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ ජාතික ආර්ථික කොමිසම නමින් ආයතනයක් පිහිටු වනු ලැබීය. එහි සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාම තමා විසින්ම පත්වීම් ලැබීය. එහි උපදේශකයා වූයේ ආර්ථික විද්‍යාඥයෙකු නොව ගණකාධිකාරිවරයෙකි. 

අර්බුධය උග්‍ර අතට හැරුණු පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ආර්ථික කොමිසමක් පත් කොට තමාම එහි සභාපතිවරයා ලෙස පත්වීම් ලබා ගත්තේය. මේ ආර්ථික කොමිෂන් දෙකේම සභාපතිවරු සේම සාමාජිකයන් ද ආර්ථික විද්‍යාව තබා හරියට සාමාන්‍ය පෙළ වත් සමත් වූවෝ නොවෙති. 

ගිනි පොලී, කැසිනෝ සහ ජාවාරම් කරුවන්ගේ සිට ලෝක ආර්ථිකය සහ මුල්‍ය ක්‍රමය ගැන දැනුමක් නැති බොහෝ පිරිස් ආර්ථික උපදේශකයන් ලෙස මෙම කොමිසම්වලට පත් කර ගෙන ඇත. ශ්‍රී ලංකාව ආර්ථික විද්‍යාව යන විශයෙන් ප්‍රයෝජන ගන්නා රටක් නොවේ. දේශපාලකයන්, පරිපාලකයන් සහ ව්‍යාපාරිකයන් දන්නා දේ ආර්ථික විද්‍යාව ලෙස පිළි ගැනීමට පාත්‍ර වී තිබේ. ශ්‍රී ලංකාවට කිසි දා නිසි මුල්‍ය සහ සංවර්ධන ක්‍රමයක් අනුගමනය කළ නොහැකි බවට මේ හැරුණු විට වෙනත් සාක්ෂි උවමනා නැත.

ඒ අනුව මේ වන විට ඇත්තේ එකම විකල්පයකි. එනම් ශ්‍රී ලංකාව යන භුමියේ ඉන්දියානු මුල්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමයි. එහිදී ගත යුතු ප්‍රධානතම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලංකා රුපියල අහෝසි කොට ඉන්දියානු රුපියල භාවිතයට ගැනීමයි. අධි උද්ධමනය හට ගත් අවස්ථාවල එම තත්ත්වය සමනය කිරීම පිණිස "Dollarization" යනුවෙන් යොදා ගන්නේ ද මේ ක්‍රමයයි. 

දේශීය මුදල සහ මුල්‍ය ක්‍රමය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවේ මහ බැංකුව අසමත් වීම හේතුවෙන් රටේ ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ජන ජීවිතය යනාදියෙන් වන්දි ගෙවිය යුතු නැත. ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු මහ බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය ලෙස පවත්වා ගෙන යා හැකිය. 

ශ්‍රී ලංකාව ඉන්දියානු රුපියලට හැරීමෙන් දැවැන්ත රටක් සහ සම්පත් ප්‍රමාණයක්, වෙළෙඳ පොළක්, විනිමය සහ රන් සංචිත ප්‍රමාණයක්, තාක්ෂණය, දැනුම සේම කාර්මීකරණය යන සෑම අංශයකින්ම ප්‍රයෝජන ලැබිය හැකිය. ඉන්දියාවෙන් රුපියල රුපියල ණය ගන්නවාට වඩා මේ ක්‍රමය තිරසාර විසඳුමකි. 

ඒ ඔස්සේ රුපියලේ නිසි වෙළෙඳ පොළ මිල තීරණය වන බැවින් ද, ඉන්දියානු ආර්ථිකයේ ස්ථායීතාව නිසා ද අද වගේ වෙළෙඳ පොළ සහ මුල්‍ය කම්පන හට ගැනීමට ඉඩක් නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අසමත්කම පිටු දැකිය හැකි ඒකායන උපාය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වසා දමා එහි ඉන්දියානු මහ බැංකු කාර්යාලයක් විවෘත කොට ශ්‍රී ලංකා රුපියල ඉවත දමා ඉන්දියානු රුපියල භාවිතයට ගැනීම සහ ඉන්දියානු මහ බැංකුවට ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්‍රමය භාර කිරීමය.

මහා බැංකුව වසා දමා ඉන්දියානු රුපියලට හැරෙමු..!

-මහාචාර්ය මිල්ටන් රාජරත්න-
 
 නිර්මාතෘ සහ පීඨාධිපති 
 
මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුව 
 
 කළමනාකරණ පීඨය 
 
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය 

 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න