ඩඩ්ලි සිරිසේන-ඇන්ඩෲ කානෙගී සහ ව්‍යාපාරවල සමාජ වගකීම

(මහාචාර්ය මිල්ටන් රාජරත්න) ඕනෑම ව්‍යාපාරයක් එම ව්‍යාපාරය ක්‍රියාත්මක වන සමාජයේ යහපත වෙනුවෙන් පොදු සේවයක් ඉටු කිරීමට දක්වන බැඳීම සංවිධානවල සමාජ වගකීම යනුවෙන් අර්ථ දක්වනු ලැබේ. ව්‍යාපාරවල එකම පරමාර්ථය…
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)
ඕනෑම ව්‍යාපාරයක් එම ව්‍යාපාරය ක්‍රියාත්මක වන සමාජයේ යහපත වෙනුවෙන් පොදු සේවයක් ඉටු කිරීමට දක්වන බැඳීම සංවිධානවල සමාජ වගකීම යනුවෙන් අර්ථ දක්වනු ලැබේ. ව්‍යාපාරවල එකම පරමාර්ථය උපරිම ලාභයක් ඉපයීම පමණක් බව වර්තමානයේ විශ්වාස කරනු නොලැබේ.
ලාභ උපරිම කිරීමේ අභිලාෂයෙන් පමණක් ක්‍රියා කරන ව්‍යාපාරයන් ජාවාරම්කාර දූෂිත, සදාචාර විරෝධී, සමාජ විරෝධී සහ අසාධාරණ ක්‍රියාවල නිරත වේ. නූතනයේ ව්‍යාපාර සිය ලාභ ඉපයීමේ කාර්යයේදී පිරිවැය සහ අය භාරය යන මූලික ආර්ථික සිදධාන්ත දෙක පමණක් නොව සමාජ වගකීම, සමාජ සාධාරණය සහ ආචාර ධර්ම යනාදිය ද සැලකිල්ලට ගත යුතුව ඇත.
ඒ නුව මෙම ලිපිය ලිවීමෙහි එළඹුම වන්නේ ඇන්ඩෲ කානෙගී පෙන්වා දුන් "ව්‍යාපාර-සමාජ" වගකීම පිළිබඳ මූලධර්ම ඩඩ්ලි සිරිසේන විසින් යෝජනා කරන ලද සාධාරණ සහල් වෙළඳාම කෙරෙන් විද්‍යමාන වන ආකාරය සමග සසඳා බැලීම බව කිව යුතුය.
දැන්වීම
ව්‍යාපාර සහ සමාජය අතර පවතින අන්තර් සම්බන්ධතාව පුළුල් වී තිබෙන වර්තමානයේ සංවිධානවලට පැවරෙන සමාජ වගකීම කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට සංවිධානවලින්ම උනන්දුවක් හට ගත යුතුය. මෙහි මූලික තර්කය වන්නේ ආයතන ක්‍රියාකාරිත්වය කරණ කොට ගෙන සමාජයට අහිමි වන යමක් ඇත්නම් ද, සමාජයට අසාධාරණයක් වේ නම් ද, ඒ සම්බන්ධයෙන් ආයතනවලට වගකීමක් පැවරෙන බවයි.
සමාජ වගකීම සහ ආචාර ධර්ම විසින් කළමනාකරණයේ නිදහස් ක්‍රියාකාරිත්වය සීමා කරනු ලබයි. විශේෂයෙන්ම සමාජ ව්‍යසනයක දී වෙනදා වගේ ලාභ උපරිම කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම යුක්ති සහගත නොවේ. ඒ අනුව ඩඩ්ලි සිරිසේන පෙන්වා දුන්නේ රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීම යුක්ති සහගත ක්‍රියාවක් බවත් සියලු හාල් මෝල් හිමියන්ට එම යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් මහත් සමාජ වගකීමක් පැවරී තිබෙන බවත් ය.
ව්‍යාපාරවල යුක්ති ගරුක හැසිරීම සහ සමාජ වගකීම පිළිබඳ බෞද්ධයා සිය පළමු පාඩම ඉගෙන ගන්නේ සේරිවාණිජ ජාතක කතාවෙනි. ඒ අනුව ව්‍යාපාරවල සමාජ වගකීම චිරාත් කාලයක පටන් පැවතෙන බව විශ්වාස කළ හැකි අතර ඒ පිළිබඳ අදහස් අලුතින් ඉදිරිපත් වන්නට පටන් ගත්තේ "හොවාර්ඩ් බවන්" විසින් 1953 දී "ව්‍යාපාරිකයාගේ සමාජ වගකීම" නම් වූ කෘතිය එළි දැක්වීමත් සමගය.
ව්‍යාපාර සිය තීරණ ක්‍රියාත්මක කිරීමෙන් සමාජයට සිදු වන බලපෑම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව මේ මගින් අවධාරණය කරන ලදී. රොබට් අකර්මන් විසින් 1973 දී සඳහන් කළේ, ව්‍යාපාර සිය සමාජ වගකීම කල්තියා තීරණය කරනවාට වඩා සමාජ ගටලු හට ගත් අවස්ථාවල ඊට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද යන්න පිළිබඳව ව්‍යාපාර මනා දැනුමකින් යුතුව ක්‍රියා කළ යුතු බවයි. මෙම අදහස නූතැනයේ ව්‍යාපාර සමාජ ප්‍රතිචාරය යනුවෙන් පිළි ගැනීමට පාත්‍ර වී තිබේ.
අද අප රටේ ඇති වී තිබෙන ආහාර පිළිබඳ ප්‍රශ්නයේ දී අරලිය සමාගම පමණක් නොව සෙසු සහල් නිෂ්පාදන සමාගම් ද සමාජයට සාධාරණ ලෙස ප්‍රතිචාර දැක්විය යුතු ආකාරයත් රජයේ පාලන මිල ක්‍රමය සමාජ යහපත වෙනුවෙන් පනවා ඇති බැවින් ඊට අනුකූලත්වය දැක්විය යතු බවත් එම ක්‍රියා පිළිවෙත සහල් නිෂ්පාදකයන්ගේ වගකීම බවත් ඩඩ්ලි සිරිසේන පෙන්වා දුන්නේය.
ඔහුගේ පසු ගිය මාධ්‍ය සාකච්ඡාවක දී, සමාජ සාධාරණත්වයට එරෙහි සහල් නිෂ්පාදකයන් පිරිසක් සිටින බව පෙනී ගියෙන් ඔවුන් සමාජ විරෝධී ව්‍යාපාර ක්‍රමයක් අනුගමනය කරන බව ප්‍රත්‍යක්‍ෂ විය. එමගින් සාධාරණ සහ අසාධාරණ සහල් ව්‍යාපාරිකයන් කවුදැයි වෙන් කොට හඳුනා ගැනීමට අවස්ථාව උදා කර දුන්නේය. සමාජ අවශ්‍යතාවට අනුකූලව සිය ව්‍යාපාරය මෙහෙය වීම කෙරෙහි යොමු වී ප්‍රබල සමාගම් සභාපතිවරයෙකු ලෙස ඩඩ්ලි සිරිසේන පෙන්වා දෙන ව්‍යාපාරික ආදර්ශය ප්‍රසංශනීය එකක් වනවා පමණක් නොව එම ක්‍රියා පිළිවෙත අනෙකුත් ව්‍යාපාරිකයන්ට මහගු ආදර්ශයක් සහ මග පෙන්වීමක් ද වේ.
වෙනස් වන සමාජීය තත්ත්වයන් යටතේ ව්‍යාපාරයේත් සමාජයේත් අන්‍යෝන්‍ය පැවැත්ම වෙනුවෙන් ව්‍යාපාර කාර්යයන් ගලපා ගැනීමේ ව්‍යාපාරික ආකල්පය, සමාජ වගකීම ඉටු කිරීම සඳහා අවශ්‍ය වන මුලික කොන්දේසියකි. මෙම ආකල්පය ඩඩ්ලි සිරිසේන විසින් ඉදිරිපත් කරන ලද අතර ඇතැම් ව්‍යාපාරිකයන් ඊට එරෙහි ආකල්ප ඉදිරිපත් කළේය.
සමාජ වගකීම් ඉටු කිරීමට යාමේ දී සංවිධානවලට අමතර සම්පත් සහ කාලය කැප කිරීමට සිදු වේ. එක්කෝ ලාභයෙන් කොටසක් කැප කිරීමට සිදු වේ. නැති නම් ලාභ විභවයන් කැප කිරීමට සිදුවේ. මේ මගින් ව්‍යාපාර සංවිධානවල මුඛ්‍ය පරමාර්ථය වන ලාභය උපරිම කිරිමේ පරමාර්ථය ඉටු කර ගැනීමට බාධා පැමිණෙන බවට මිල්ටන් ෆ්‍රීඩ්මන් විසින් තර්ක කරනු ලබන අතර ඩඩ්ලි සිරිසේනගේ ආකල්පවලට එරෙහි වූවන් සිය ලාභය ගැන පමණක් සිතන ෆ්‍රීඩ්මන් වාදීන් බව පෙනී ගියේය.
අනෙක් අතට ඩඩ්ලි සිරිසේන, ෆ්‍රීඩ්මන් වාදියෙකු නොව කානෙගී වාදියෙක් බව ක්‍රියාවෙන් පෙන්වා දුන්නේය. ඇන්ඩෲ කානෙගී විසින් 1899 දී ඉදිරිපත් කරන ලද මූලධර්ම සමග ඩඩ්ලි සිරිසේන 2022 දී ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික ආකල්පය සසඳා බැලිය හැක.
ඇන්ඩෲ කානෙගීට අනුව ව්‍යාපාරවල සමාජ වගකීම මූලධර්ම දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතුය. ඉන් එකක් දානමය මූලධර්මය වන අතර දෙවැන්න භාරකාරත්ව මූලධර්මය වේ. දානමය මූලධර්මය මගින් යෝජනා කරන්නේ සමාජයේ භාග්‍යවන්ත පිරිස් විසින් අභාග්‍යවන්ත පිරිස්වලට උපකාර කළ යුතුය යන්නයි. ව්‍යාපාර භාග්‍යවන්ත ලෙස සැලකෙන අතර අභාග්‍යවන්ත පිරිස්වල යහපත වෙනුවෙන් ව්‍යාපාර සෘජුව හෝ වක්‍රව උපකාර කළ යුතුය.
ඩඩ්ලි සිරිසේන සිය අද්විතීය ව්‍යවසායකත්ව හැකියාවන් නිසා භාග්‍යවන්තයෙකු බවට පත්ව සිටින අතර ආර්ථික අර්බුදය නිසා අභාග්‍යවන්ත භාවයට පත්ව සිටින පාරිභෝහිකයාට රජය ආනුමත කළ පාලන මිලට සහල් සැපයීම දානමය මූලධර්මය මත පිහිටා ක්‍රියා කිරීමකි.
භාරකාරත්ව මූලධර්මය මගින් ව්‍යාපාර සමාජයේ භාරකරුවකු ලෙස ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙනු ලැබේ. ධනයේ භාරකරු ලෙස ව්‍යාපාර ක්‍රියා කරන අතර සමාජයට අවශ්‍යවේ යැයි හැඟෙන විට සමාජ සුබ සිද්ධිය තකා එම ධනය ස්වේච්ඡාවෙන් යෙදවීමට ව්‍යාපාර පෙළඹිය යුතු බව ඇන්ඩෲ කානෙගී අවධාරණය කළේය.
අර්බුදකාරී අවස්ථාවල දී රජයේ බලපෑම මත හෝ නීතිරීති නිසා හෝ වෘත්තීය සමිතිවල සහ මහ ජන බලපෑම් මත හෝ ව්‍යාපාර විසින් සිදු කරනු ලබන සමාජ සේවය වෙනුවට ස්වේච්ඡාවෙන් සහ හැඟීමෙන් යුතුව සමාජ යහපත වෙනුවෙන් ඉදිරිපත් වීම භාරකාරත්ව මූලධර්මයේ ලක්ෂණය යි.
ඩඩ්ලි සිරිසේන අනුගමනය කරන්නේ අර්බුදය ප්‍රයෝජනයට ගෙන ඉහළ මිලට සහල් විකුණා තව තවත් ධනය ඉපයීම නොව එසේ ධනය ඉපයීමට තිබෙන අවස්ථාව කැප කොට සමාජ සුබ සිද්ධිය උදෙසා රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීමට සහල් මාෆියාවට ඇරයුම් කිරීම සහ බලපෑම් කිරීමයි. මේ අනුව පෙනී යන්නේ ඩඩ්ලි සිරිසේන ෆ්‍රීඩ්මන් වාදියෙකු නොව කානෙගි වාදියෙකු බවයි. ව්‍යාපාර සමාජ වගකීම තේරුම් ගත් ව්‍යාපාරිකයෙකු බවයි.
සහල් මාෆියා කරුවන් සේම සූදු ක්‍රීඩාවෙන්, මුදල් පොළී කිරීමෙන්, උගස් ගැනීමෙන් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් ඒකාධිකාරී ව්‍යාපාරවල නිරතව සිටින ධන කුවේරයන්ට සහ දරිද්‍රයන් හට සහල් සලාකයක් ලබා දීමට තවමත් අසමත්ව සිටින ජනපති-අගමැති ඇතුළු රජය ද, සමාජ වගකීම නොතැකීම සහ ඩඩ්ලි සිරිසේනගේ හැඟීම්බර හැසිරීම අතර ලියවුණු යම් ගැඹුරු අර්ථයක් ඇත. එනම් ඩඩ්ලි සිරිසේනට තේරුම් ගොස් ඇති දුප්පතාගේ ආහාර අර්බුදයේ භයානක කම ඔවුන්ට තේරුම් ගොස් නොතිබීමයි.
