ජාතික අයවැය 2026

ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය "ජාතික අයවැය" ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව…
ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය "ජාතික අයවැය" ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි.
අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව හැක්කේ මෙය මැදිකාලීනව රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීමට මුල් තැන දෙන අතරම, දිගුකාලීන ආර්ථික වර්ධනය පිළිබඳවද යම් අවධානයක් යොමු කර සකස් කර ඇති, එමෙන්ම මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා හා ගැලපෙන පරිදි සකස් කර ඇති, අයවැයක් බවයි. ඊට අමතරව ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ විභවයක් තිබෙන ඉලක්ක සහිතව සකසා ඇති අයවැයක් බවද පෙනී යනවා.
ලංකාවේ අයවැය ඉතිහාසය ලෙස බැලුවහොත්, අයවැය කියන්නේ ඒ තරම්ම තේරුමක් නැති, හිස් ලියැවිල්ලක් පමණයි. වසරක් ආරම්භ වීමට පෙර ප්‍රදර්ශනාත්මක ලෙස ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු සහ වසර අවසන් වෙද්දී දකින්නට ලැබෙන සැබෑ සංඛ්‍යාලේඛණ අතර බොහෝ විට විශාල පරතරයක් දැකිය හැකිව තිබුණා. පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය වෙනස් වී වඩා යහපත් රාජ්‍යමූල්‍ය විනයක් ගොඩ නැගී තිබීම යහපත් ප්‍රවණතාවක්.
දැන්වීම
රාජ්‍ය ආදායම
වසරකට පෙර මෙම (2025) වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරද්දී රුපියල් බිලියන 4,590ක බදු ආදායමක් සහ රුපියල් බිලියන 400ක බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් ලෙස රුපියල් බිලියන 4,990ක සමස්ත ආදායම් හා ලැබීම් ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබුණා. මේ වන විට යාවත්කාලීන කර ඇති ඇස්තමේන්තු අනුව, බදු ආදායම රුපියල් බිලියන 4,725 දක්වා ඉහළ යනවා. බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 375ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,100 දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙය රුපියල් බිලියන 110කින් ඉලක්කය ඉක්මවා යාමක්.
ඉදිරි (2026) වසර තුළ බදු ආදායම රුපියල් බිලියන 4,910 දක්වාත්, බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 390 දක්වාත් වැඩි කර ගැනීම ඉලක්කයයි. මේ අනුව, සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,300 දක්වා ඉහළ යනවා. මෙය ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ හැකියාවක් ඇති ආදායම් ඉලක්කයක්.
ප්‍රාග්ධන වියදම්
පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 1,315ක මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර තිබුණත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,033 දක්වා පහත හෙළා තිබෙනවා. මේ අනුව, අයවැයෙන් වෙන් කළ අරමුදල් වලින් රුපියල් බිලියන 347ක මුදලක් ඉතිරි වෙනවා. ඉදිරි වසරේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,380ක මුදලක් වෙන් කර තිබෙනවා.
පොලී වියදම්
පසුගිය අයවැයෙහි පොලී වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,950ක් වුවත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,650 දක්වා පහත වැටී තිබෙනවා. මෙය රුපියල් බිලියන 300ක ඉතිරියක්.
අනෙකුත් පුනරාවර්තන වියදම්
වැටුප් හා වේතන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,290 සිට රුපියල් බිලියන 1,220 දක්වා පහත වැටී ඇති අතර, ඉදිරි වසරේ එම වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,323ක මුදලක් වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 1,290ක් වූ සහනාධාර හා සුබසාධන වියදම් ඇස්තමේන්තුවද රුපියල් බිලියන 1,280කට සීමා වී තිබෙනවා. එය ඉදිරි වසරේදී රුපියල් බිලියන 1,347 දක්වා ඉහළ යනවා. අනෙකුත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් වෙන් කර තිබුණු රුපියල් බිලියන 405ක මුදලද රුපියල් 380 ලෙස වෙනස් වී තිබෙනවා. ඉදිරි වසර සඳහා අදාළ වෙන් කිරීම රුපියල් බිලියන 401ක්. මේ අනුව, සමස්තයක් ලෙස රජයේ පුනරාවර්තන වියදම් කොටසද මුල් අයවැය ඇස්තමේන්තු වලට වඩා පහළින් පවත්වා ගෙන යමින් ඇති ආකාරය දැකිය හැකියි.
ප්‍රාථමික අයවැය අතිරික්තය
ඉහත සඳහන් පරිදි බදු ආදායම් ඉහළ යද්දී සියලුම ප්‍රධාන වියදම් ශීර්ෂයන් මුල් ඇස්තමේන්තු වලට වඩා අඩු මට්ටමක පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,210ක් දක්වා ඉහළ යා හැකි බවක් පෙනෙන්නට තිබෙනවා. මෙය අපේක්ෂිත දදේනියෙන් 3.8%ක් වන අතර අවශ්‍ය අවම මට්ටම වන 2.3% බෙහෙවින්ම ඉක්මවන්නක්. එබැවින් ඉදිරි වසර සඳහා සැලසුම් කර ඇති එම අනුපාතය 2.5% වුවද, යහපත් රාජ්‍යමූල්‍ය විනයක් පවත්වාගෙන යාම මගින් එම මට්ටම ඉක්මවා යාමේ විභවයක් වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට ප්‍රදර්ශනය කර තිබෙනවා.
සමස්ත අයවැය හිඟය
යාවත්කාලීන ඇස්තමේන්තු අනුව මෙම වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 1,448ක් වන අතර, අයවැය ඇස්තමේන්තු අනුව ඉදිරි වසරේදී එය රුපියල් බිලියන 1,787 දක්වා ඉහළ යනවා. දදේනි අනුපාත ලෙස මෙය අයවැය හිඟය 4.5% සිට 5.1% දක්වා ඉහළ යාමක්. කෙසේ වුවද, මීට ප්‍රධාන හේතුව මෙම වසරේ දදේනියෙන් 14.8% මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බදු ආදායම ඉදිරි වසරේදී නැවතත් දදේනියෙන් 14.2% මට්ටම දක්වා අඩු වීමයි. මේ වසරේ බදු ආදායම අනපේක්ෂිත මට්ටමකට ඉහළ යාම කලකට පසු වාහන ආනයන තහනම ඉවත් කිරීම නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයක් බැවින්, ඉදිරි වසරේදී මෙවැනි අඩුවීමක් අපේක්ෂා කරමින් අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අනිවාර්යයයෙන්ම සිදුවිය යුත්තක්.

- ඉකොනොමැට්ටා -