අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායක ICRC ප්‍රධානීන් හමු වෙයි-ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රියාකාරීත්වය ගැන සාකච්ඡා කරයි

සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ ICRC සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත ප්‍රධානී ඇන්ජලීක් ඇපෙරූ මහත්මිය අතර සුවිශේෂ හමුවක් කොළඹ දී සිදුවිය.

දැන්වීම

ICRC සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිය ඉදිරි මැදිහත්වීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදුවූ යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් පවතින මානුෂීය ගැටලු සහ ඒවාට විසඳුම් ලබා දීම සඳහා පවතින තිරසර ජාතික හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී ප්‍රධාන වශයෙන් දෙපාර්ශ්වයේ ම සාකච්ඡාවට ලක්විය. විශේෂයෙන්ම අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින පවුල්වල අවශ්‍යතා, අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව ශක්තිමත් කිරීම, රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ අවබෝධය හා ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙහි දී වැඩිදුරටත් අවධානය යොමු වී ඇත.

ICRC සංවිධානය 1989 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර වර්තමානයේ එහි ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ පසුගිය ගැටුම් හේතුවෙන් තවදුරටත් පවතින මානුෂීය අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීම, අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් සඳහා සහාය ලබාදීම, අධිකරණ වෛද්‍ය හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ දැනුම හා ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම කෙරෙහිය.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වැඩිදුරටත් සිය අදහස් දැක්වීම සිදු කරමින් පවසා සිටියේ විසඳා නොමැති මානුෂීය ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපක්ෂපාතී, මානුෂීය, සාක්ෂි මත පදනම් වූ සහ සියලු බලපෑමට ලක් වූ ප්‍රජාවන් ඇතුළත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත් බව යි. එමෙන්ම, මෙවැනි මානුෂීය අවශ්‍යතාවලට වෘත්තීයමය සහ අපක්ෂපාතී ආකාරයෙන් ප්‍රතිචාර දැක්විය හැකි විශ්වසනීය හා තිරසර ශ්‍රී ලාංකික ආයතනික හැකියාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවද විපක්ෂ නායකවරයා විසින් මෙහි දී පෙන්වා දෙන ලදි.

“ගැටුම් අවසන් වූ පමණින් එහි මානුෂීය ප්‍රතිවිපාක අවසන් නොවේ. තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින පවුල්වලට ඔවුන්ගේ ජාතිය, ආගම, භූගෝලීය පසුබිම හෝ දේශපාලන පසුබිම නොසලකා ගෞරවය, කරුණාව සහ සාධාරණත්වය හිමිවිය යුතුයි. මෙම මානුෂීය අවශ්‍යතාවලට වෘත්තීයමය හා අපක්ෂපාතීව ප්‍රතිචාර දැක්විය හැකි විශ්වසනීය ශ්‍රී ලාංකික ආයතන ශක්තිමත් කිරීම අපගේ අරමුණ විය යුතුයි” යනුවෙන් විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය, අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීමේ සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුමෙන් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී අවධානයට ලක් විය. කෙසේ වෙතත්, දීර්ඝකාලීන හා තිරසර විසඳුම් සඳහා අවසානයේදී ශ්‍රී ලංකාවේ ජාතික ආයතනවල ඵලදායී ක්‍රියාකාරීත්වය හා හැකියාවන් ශක්තිමත් කිරීම අවශ්‍ය බවද අවධාරණය කරන ලදි.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ට අයත් අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් දහස් ගණනක් තවමත් තම ආදරණීයයන්ගේ ඉරණම සහ සිටින ස්ථානය පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින බව ICRC සංවිධානය මෑතකදීද අවධාරණය කර ඇති අතර එම පවුල්වල මානුෂීය අවශ්‍යතා සම්බන්ධයෙන් අඛණ්ඩ හා සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාව ද විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මානුෂීය කටයුතු සඳහා ICRC සංවිධානය ලබාදී ඇති දායකත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර ඇති අතර පාර්ලිමේන්තුව, ජාතික ආයතන සහ අදාළ පාර්ශ්වයන්ට ඉතිරිව පවතින මානුෂීය අභියෝගවලට විසඳුම් සෙවීමට සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කිරීම ශක්තිමත් කිරීමට සාධනීය ලෙස දායක විය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ICRC සමඟ අඛණ්ඩව සංවාදයේ නිරත වීමේ වැදගත්කම ද පිළිගන්නා ලදි.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
විපක්ෂ නායක ICRC ප්‍රධානීන් හමු වෙයි-ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රියාකාරීත්වය ගැන සාකච්ඡා කරයි | Lanka Newsweek