මහා බැංකුව ප්‍රෝඩාකාරී ලෙස රාජ්‍ය ණය අඩු කර පෙන්වයි

(පාඨලී චම්පික රණවක) 2020 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව නිකුත් වී ඇත. එහි සංඛ්‍යා ලේඛන පරිශිෂ්ඨයට (103 වන සංඛ්‍යා සටහන) අනුව මධ්‍යම රජයේ ණය බර රුපියල් බිලියන 15,117,247 හෙවත් රුපියල් ට්‍රිලියන 15.117…
(පාඨලී චම්පික රණවක)
2020 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව නිකුත් වී ඇත. එහි සංඛ්‍යා ලේඛන පරිශිෂ්ඨයට (103 වන සංඛ්‍යා සටහන) අනුව මධ්‍යම රජයේ ණය බර රුපියල් බිලියන 15,117,247 හෙවත් රුපියල් ට්‍රිලියන 15.117 ක් ලෙස දක්වා ඇත. එමෙන්ම එම ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස 101.0%ක් ලෙසද පෙන්වා දී ඇත. (පිටුව-169)
නමුත් මෙම සංඛ්‍යා දත්තවල අවම වශයෙන් රුපියල් බිලියන 407 ක් පමණ වන ස්වෛරී බැඳුම්කර ඇතුළත් කර නොමැත. මහා බැංකු වාර්තාවට අනුවම ගෙවීමට ඇති ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 14.05 ක් (5/12 සංඛ්‍යා සටහන. පිටුව-147) නොහොත් රුපියල් බිලියන 2619ක් වේ. (මහා බැංකු වාර්තාවට අනුව වසර අග විනිමය අනුපාතය ඩොලරය රුපියල් 186යි ශත 41 ක් ලෙස ගෙන ඇත. 5 වැනි විශේෂ සංඛ්‍යා සටහන.)
නමුත් මධ්‍යම රජයේ ණය බර ලෙස ඇතුළත් කර ඇත්තේ ස්වෛරී බැඳුම්කරවල ඩොලර් බිලියන 11.868 ක් හෙවත් රුපියල් බිලියන 2212ක් වශයෙනි. රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හමුවේ අපේ ජාත්‍යන්තර බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 11.868 ක් දක්වා බාල්දු වුවද රටට අදාළ ඩොලර් බිලියන 14.05 ක මුහුණත සැබෑ වටිනාකම රජයට ගෙවීමට ඇත. එනම් රුපියල් බිලියන 407 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.7% අඩුවෙන් මධ්‍යම ආණ්ඩුවේ ණය බර පෙන්වා ඇත. තත්‍ය ණය බර දළ දේශීය නිෂ්පාදිතයට අනුව 103.7%කි.
