අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ගමට යෑමේ අභියෝගය භාර ගත් බැසිල්..!

ගමට යෑමේ අභියෝගය භාර ගත් බැසිල්..!

(මහින්ද පතිරණ) දේශපාලන අසහනයන් වර්ධනය වීමත් සමග එමඟින් ප්‍රයෝජන ගැනීම සඳහා පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ විපක්ෂය ගමට යෑමට පටන් ගත් බව අපි දුටු වෙමු. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ…

(මහින්ද පතිරණ)

දේශපාලන අසහනයන් වර්ධනය වීමත් සමග එමඟින් ප්‍රයෝජන ගැනීම සඳහා පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ විපක්ෂය ගමට යෑමට පටන් ගත් බව අපි දුටු වෙමු. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ විවිධ නම් යොදා ගෙන ගමට යෑමට ගත්තේය. එසේ ගමට ගිය ව්‍යාපෘතිය බොහෝ විට මේ වන විට අතර මඟ නතර කර ඇත්තේ ඊට ගමෙන් අපේක්ෂා කළ මට්ටමේ උන්න්දුවක් පෙන්නුම් නොකළ නිසාය. ඇරත් ඒවා හුදු දේශපාලන කතා පෙට්ටි පමණක් වීම නිසා මහ ජන සහභාගිත්වය බෙහෙවින් අඩු විය. එසේ ගමට යන අතරතුර විපක්ෂය කීවේ ආණ්ඩුවට ගමේ යාමට නොහැකිව සැඟවී සිටින බවයි. 

මේ සියල්ල සිත්හි දරා ගෙන ඊට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ගමට යෑමට වැඩ පිළිවෙළක් සකස් කිරීමට එක් මිනිසෙක් පමණක් අදිටන් කර ගෙන සිටි බව කිසිවෙකු සිතුවේ නැත. ඒ බැසිල් රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ නම් 2022.02.03 වැනිදා ශ්‍රී ලංකාවේ ගම් 36000ට ම ගියේ රුපියල් බිලියන ගණනක් වූ ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර දියත් කළ විශාලතම ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය ද සමගයි. 

එක් දිනක දී ශ්‍රී ලංකාවේ ග්‍රාම සේවා වසම් 14022 ම ආවරණය වන පරිදි එකවර එකම වේලාවක මෙවන් දැවැන්ත වැඩ පිළිවෙළක් ඇරඹීම සහ ඒවා සැබෑ ලෙසම ගමේ පැල වෙන වැඩක් බවට පත් කිරීම එසේ මෙසේ දෙයක් නම් නොවේ. එහෙත් අප වෙත වාර්තා වන දත්ත අනුව, ව්‍යාපෘතිය පළමු අදියරේ දී ම අති සාර්ථකත්වයක් අත් කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමකම අවම වශයෙන් ව්‍යාපෘති හතක් මේ වන විටත් ආරම්භ කර තිබේ. වැඩ ලක්ෂයක් ලෙස එම ව්‍යාපෘතිය නම් කළේ ග්‍රාම සේවා වසම් 14022 වැඩි කිරීම 7 වශයෙන් වැඩි කර ගත් විට එන ඉලක්කම ලෙසයි. 

දැන්වීම

වැඩ ලක්ෂයේ විශේෂය නම් රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන යාන්ත්‍රණය සහ ජනතා යාන්ත්‍රණය යන තුනම එකම වේදිකාවකට රැගෙන විත් සිය අරමුණ සාර්ථක කර ගැනීමට එකාවන්ව වැඩ කිරීමයි. වංචා, දූෂණ, එකිනෙකා අතර ගැටුම් සහ කඹ ඇදීම් අවම වන පරිදි මුල සිට ම ගමේ සියලු යාන්ත්‍රණයන්ට සම වගකීම් සහ අයිතිවාසිකම් ලැබෙන ලෙස මෙම කටයුතු පහළට ගලා යෑමට අවශ්‍ය වැඩ පිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් කල් තබාම සැලසුම් කර තිබුණි. ඒ අනුව, සියලු දෙනා ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වන ආකාරය දක්නට ලැබුණි. 

වැඩ පිළිවෙළ එක් දිනක් ඇතුළත පැවැත්වුවද  ඊට සූදානම් වීම නම් පටන් ගත්තේ අයවැයට පවා කලින් සිටය. මුල්ම පියවර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයින් කොළඹට ගෙන්වා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දී ප්‍රාදේශීය සභා මට්ටමෙන්  ජනතාව අතරට යවා රාජ්‍ය සහ දේශපාලන යාන්ත්‍රණය දැනුවත් කිරීම ඔස්සේ ආරම්භ විය. ඉන් අනතුරු ග්‍රාම සේවා නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්ගේ සිට දිසාපති දක්වාත්, ප්‍රාදේශීය සභාවල පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද, අමාත්‍යාංශය අටකට වඩා වැඩි කොටසක අදාළ නිලධාරීන් ද දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සිදු කිරීමෙන් අනතුරු වැඩ පිළිවෙළ දියත් කෙරුණි. 

තවත් බඩු බෙදීමක් නොවේ 

වැඩ පිළිවෙළ ආරම්භයේ දී ම ප්‍රාදේශීය ලේකම්වරු පවා කල්පනා කළේ මේ ක්‍රියා මාර්ගය තවත් එක් බඩු බෙදීමේ වැඩ පිළිවෙළක් බවයි. එවැනි ඒවා ඉතිහාසයේ විවිධ අවස්ථාවල ශ්‍රී ලංකාවේ සිදුව ඇත. කෙසේ වෙතත්, මේ වැඩ පිළිවෙළ එවැන්නක් නොවන බව ඔවුන් සියලු දෙනා මුහුණට මුහුණ හමුවී බැසිල් රාජපක්ෂ මහතා විසින් ම කළ පැහැදිලි කිරීම්වලින් පසු සනාථ විය. ඔවුන්ගේ උනන්දුව තවත් වැඩි වූයේ ඉන් පසුවයි. 

අර්බුද හමුවේ තැවෙනු වෙනුවට වැඩ කිරීම 

බැසිල් රාජපක්ෂ යනු ප්‍රශ්න පිට ප්‍රශ්න පැමිණිය ද ඒවා ගැන තැවෙමින් කිය වමින් සිටින කෙනෙක් නොවේ. ඔහු ප්‍රායෝගික විසඳුම් හඹා යන්නෙකි. ඒ සඳහා සිය කාලය, ශ්‍රමය සහ බුද්ධිය කැප කරන්නෙකි. වත්මනෙහි පවතින වසංගත වටපිටාව මත රටෙි විවිධ ප්‍රශ්න ඇති බව අවිවාදිතය. ඒ ප්‍රශ්නනලට විසඳුම බොහෝ විට ලෝක මට්ටමින් ලබා ගත යුතු ඒවායි. උදාහරණ ලෙස භාණ්ඩ හිගවීම මත අද බොහෝ ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් දේශීය භාණ්ඩව මත ඉල්ලුම වැඩි වී ඒවා ද මිළ ඉහළ ගොස්ය. 

මේ ප්‍රශ්නවලට කෙටි විසඳුම් ඇත්තේ නැත. එසේ සෙවිමෙන් පලක් ද නැත. එකම විසඳුම ගමේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීමයි. බැසිල් රාජපක්ෂ වැඩ ලක්ෂයක් හරහා මුල් ගල තැබූවේ ඒ අත්‍යාවශ්‍ය පිම්මට නොවේ ද..? ලෝක මට්ටමෙන් ආර්ථික උච්ඡාවචන කුමක් වුවත් ගම නොසෙල්වී තබා ගැනීමට එකම විසඳුම මේ වැඩ සටහන නොවේද..? අපේ භූමිය, අපේ පස, අපේ ව්‍යවසායකත්වය ප්‍රයෝජනයට ගන්නා ග්‍රාමීය ආර්ථික මොඩලය ජන සහභාගිත්වය සහිතව සක්‍රීය ව තබා ගැනීමෙන් අපට ඉදිරියේ දී සිදු වන හැළහැප්පිලි බොහෝමයකට මුහුණ දෙන ක්‍රමය වනු ඇත. 

යැපුම් ක්‍රමයක් පමණක් නොවේ 

වැඩ ලක්ෂය යනු හුදු යැපුම් ආර්ථික ක්‍රමයක් නොවේ. එම වැඩ පිළිවෙළ නිෂ්පාදන සහ අළෙවි ක්‍රමයකි. ගමේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ද විවිධ මට්ටමෙන් අලෙවි ජාල ද මේ වැඩ පිළිවෙළ යටතේ ප්‍රායෝගික යථාර්ථයක් වනු ඇත. "Homeshop" ක්‍රමය යටතේ රටපුරා නිෂ්පාදන අලෙවි සැල් 14022 එන්නේ ඒ අනුවයි. ඊට දැනටමත් රුපියල් මිලියන 15000ක් මුදා හැර ඇත. තවද ප්‍රාදේශීය මට්ටමෙන් ගමේ ආරම්භ වන ව්‍යාවසායවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවි කලාප බිහිවීමට නියමිතය. මේ අනුව, බලන විට මෙම වැඩ පිළිවෙළ ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවේ ගම අභ්‍යන්තරයේ කරනු ලබන වෙනස අති මහත් වනු ඇත. 

දේශපාලන පුරාජේරුවක් නොවේ 

ඇතැමුන් කියා තිබුණේ වැඩ ලක්ෂය හරහා බැසිල් රාජපක්ෂ සිය ජනාධිපති සටන ආරම්භ කළ බවය. පළමුව කිව යුත්තේ මෙවන් වැඩ පිළිවෙළක් සාර්ථක ව ඉදිරියට ගිය හොත් ඒ වැඩ සටහන දේශපාලන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරිම කිසිවෙකු විසින් අමුතුවෙන් කළ යුතු දෙයක් නොවන බවය. ඒ ක්‍රියාවලිය නිරායාසයෙන් සිදු වන්නකි. කෙසේ වෙතත්, මැතිවරණ නැති මේ සමයේ මෙම වැඩ සටහන නම් කිසිදු දේශපාලන අරමුණක් සහිත එකක් නොවේ. එම ක්‍රියාවලිය මෙරට ජනතාව මුහුණ දෙන වත්මන් අභියෝග හමුවේ ඔවුන් ඉන් මුදා ගැනීම සඳහා ගත හැකි උපරිම ප්‍රායෝගික ක්‍රියා මාර්ග ක්‍රියාවට නැංවීමකි. ඒ බැසිල් රාජපක්ෂගේ ස්වභාවයයි, ඔහුගේ වැඩ කලාවේ ව්‍යාකරණයයි. ඔහු වැඩ කරන්නේ ජනතාවගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලැබෙන දේවල් ඉලක්ක කර ගෙන විනා හුදු තාවකාලික මානසික සුවතා පෙති ලබා දෙන අරමුණින් නොවේ.

ගමට යෑමේ අභියෝගය භාර ගත් බැසිල්..!

-මහින්ද පතිරණ-

සබරගමු විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය 

 සභාපති

-ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න