අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

අපි ඩොලර් වැස්සේ තෙමෙමු

අපි ඩොලර් වැස්සේ තෙමෙමු

(රජිත් කීර්ති තෙන්නකෝන්) ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 16 ක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, ඒ අතරින් අවස්ථා දහයක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, අවස්ථා හයක දී මුළු ණය මුදල රටට…

 (රජිත් කීර්ති තෙන්නකෝන්)

ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 16 ක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, ඒ අතරින් අවස්ථා දහයක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, අවස්ථා හයක දී මුළු ණය මුදල රටට ලැබුණේ නැත. කොන්දේසි ඉටු නොකිරීම, දේශපාලන බල පෙරළි සහ රටේ ඇතිවූ අස්ථාවරත්වය ණය ගිවිසුම අතරමඟ කඩාකප්පල් කළේය. 

Undiyal සහ Money Exchange මිල බැංකුවේ මිලට වඩා අඩු වී ඇති නිසා ඩොලර් ලැබෙන්නේ බැංකු පද්ධතිය හරහා ය. අපනයනකරුවන් සිය ඩොලර් වහා රුපියල්වලට හරවා සිය පාඩුව අවම කර ගනී. අර්බුදයත් සමඟම ඩොලර් මිලදී ගෙන අර්බුදය තීව්‍ර කළ ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය ඩොලර් විකුණමින් සිටී. පිටරට සැඟවූ මුදල් රටට එමින් ඇත.  

මීගමුවේ ක්‍රියාත්මක මෙරට ලොකුම Money Exchange මධ්‍යස්ථාන 2023 මාර්තු 8 තවත් රුපියල් 8ක සිට 10 දක්වා ඩොලරය පහත වැටිය හැකි බව අනුමාන කරයි. මෙරට විදේශ මුදල් මිල තීරණය කිරීමේ හෘර්ද ස්පන්ධනය තියෙන්නේ මීගමුවේ ය. කිසිවෙකු නොසිතු ලෙස මීගමුවේ මිල රුපියල් 310-300 අතර විචලනය වූවේ වසර 15 කට පසුවය. ශුර ව්‍යාපාරිකයින්ට පවා පූර්ව කථනය කළ නොහැකි ලෙස මුදල් හුවමාරු අගය වෙනස් වෙමින් ඇත. 2023 මාර්තු 09 වැනිදා මැද පෙරදිග අලුයම රැල්ල (Middle East Sun Rising  Effect) 2023 මාර්තු 08 වැනිදා ලෙසම ඒක දිශානතියක් ගන්නේ නම්, අන්තර් බැංකු හුවමාරුවේ ඩොලරයේ මිල රුපියල් 300 දක්වා පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.  

දැන්වීම

2023 මාර්තු 07 වැනිදා පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව, වානිජ්‍ය බැංකු පද්ධතියෙන් ඩොලර් මිලියන 140 ක් මිලදී ගෙන ඇත. (ගෙවුණු සතියේ දී ඩොලර් මිලියන 308 ක් මිලදී ගෙන තිබුණි) මේ සතියට ඩොලර් මිලියන 500 ක් පමණ මිලදී ගෙන ඩොලරය ස්ථාවර කිරීමට මහ බැංකුව උත්සහ දරයි. සඟවා ගෙන සිටි ඩොලර් එකවරම පැමිණීම නිසා වැඩ පිළිවෙළ පහසු වන්නේ නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, පැරිස් සමාජය සහ ජපානය වෙතින් මෙරටට මුදල් ලැබීම මේ වන විට කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවට පත්ව ඇත. ඒ අනුව, ඉදිරි සතියේ දී ඩොලරය පහත වැටීම සිදු වනු ඇත. එම තත්ත්වය වලක්වා ගැනීමට මහ බැංකුව අඛණ්ඩව ඩොලර් මිලදී ගැනීම සිදු කරනු ඇත. 2022 දෙසැම්බර් මාසයේ මිලදී ගත් මුළු ඩොලර් ප්‍රමාණය එක් දිනක දී අඛණ්ඩව දිගටම මිලදී ගැනීමට මහ බැංකුවට හැකියාවක් පවතී ද යන්න සැක සහිතය. 

මේ ඩොලර් අතිරික්තය තවත් සති දෙකක් හෝ පවතිනු ඇති බවත් ඊට පසුව ඩොලරය ස්ථාවර වනු ඇති බවත් මුල්‍ය විශේෂඥයින්ගේ තාර්කික පූර්වකථනයයි. මහ බැංකුවට ඇති අභියෝග නම් ඩොලරය රුපියල් 275  සීමාව ඉක්මවා වඩා පහත වැටීම වලක්වා ගැනීමයි. ඩොලරය රුපියල් 300 ට ස්ථාවර වී වෙළඳපොල සාධක මත තීරණය වන ක්‍රමික උද්ධමනයකට ලක්වීම සිදු වනු ඇත. 

"ශ්‍රී ලංකාව ණය ගෙවන්නේ නැති නිසා රුපියල ශක්තිමත් වෙනවා. ණය ගෙවීම ආරම්භ කළ වහාම ආය අර්බුදය ඇති වෙනවා" කියන මිත්‍යාව දේශපාලනයෙන් ඇස් අන්ධ කර ගෙන සිටින පිරිස මිස බහුතරයක් විශ්වාස කරන්නේ නැත.  

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජයට මුලික එකඟතාවයන් 15 කි. වහා ණය ගෙවීම එහි කොන්දේසියක් නොවේ. නමුත්, ශ්‍රී ලංකා රජය විසින්, අපගේ රාජ්‍ය නිලධාරීන් විසින්ම යෝජනා කළ කරුණු 8 ක් නිසා රටට, එහි ජනතාවට කෙටි කාලීන පීඩාවක් දැරීමට සිදු වීම අනිවාර්ය ය. වෙන විකල්පයක් ද නැති බව අවධාරණය කළ යුතුයි. මේ වසර ඇතුළත ගෙවිය යුතු විදේශ ණය සහ පොලිය (ප්‍රතිව්‍යුහකරණයෙන් පසුව) ඩොලර් බිලියන 1.2  නොඉක්ම වනු ඇත. කඩා ගෙන බිඳ ගෙන ඩොලරය ඉහළ යාමට ඒ අනුව අවස්ථාවක් නැත. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව මුදල් පනත නිසා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා හිතෙන හිතෙන විදිහට සල්ලි අච්චු ගැසීමට අද තියෙන හැකියාව නැති වී යන්නේය. කුමන දේශපාලන ප්‍රතිපත්තියක්, ජනාධිපතිවරයෙකු, මුදල් අමාත්‍යවරයෙකු, මුදල් ලේකම්වරයෙකු යටතේ වුව ද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාරික සියල්ලම ලබන්නට නම් මේ මුල්‍ය විනය පවත්වා ගැනීම අනිවාර්ය වනු ඇත. 

එසේ නොවන්නේ නම්, මීට පෙර අවස්ථා 6  ක දී සිදුවී ඇති අයුරින්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ණය අතර මඟ අඩාල විය හැකිය.1965 දී ඩඩ්ලි ද, 1970 දී සිරිමා ආණ්ඩුවේ ඇන්.එම්-ෆීලික්ස් ගැටුම නිසා ද, 1983 ජේ.ආර්. රජයට ද, 1991 ගිවිසුම් ගත වූ කරුණු චන්ද්‍රිකා රජය විසින් 1994 ද අත හැර දැමීම නිසා, මේ තත්වය උදා විය. 2002 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජයේ ඇමති ධූර 3 පැහැර ගැනීම නිසා එදා චන්ද්‍රිකා - මහින්ද - ජවිපෙ රජයට මුල්‍ය අරමුදලින් ලබා ගත හැකි වූවේ 14% ක්  වැනි සොච්චමක් පමණී.  

අද වන විට මේ රටේ පවතින මුල්‍ය විනය දිගටම පවත්වා ගත නොහැකි නම්, අනිවාර්යයෙන්ම 1965, 1970, 1983, 1991, 2002 රජයන් මුහුණ දුන් මුල්‍ය අර්බුදය, දේශපාලන වියවුලට රට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇත. 2021 බැසිල් රාජපක්ෂ පස්සා දොරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපි යොමු කර වසර දෙකකට පසු අරගලයේ පිහිටෙන් රටේ මුල්‍ය අර්බුදය යම් පමණකින් සමනය වෙමින් ඇත.  මේ ණය වළෙන් ආර්ථිකය ගොඩ ගැනීමේ අවස්ථාව පැමිණ ඇත. රටක් ලෙස අප එම අවස්ථාව ජය ගත යුතුව ඇත. නැති නම්, රටක් ලෙස අපට ආර්ථික විනාශය කරා අපගේ ගමන නොවැලැක්විය හැකිය. 

අපි ඩොලර් වැස්සේ තෙමෙමු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න