අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

අපනයන ආර්ථිකය සම්බන්ධයෙන් රවී කරුණානායකගෙන් රජයට ප්‍රශ්න වැලක්

අපනයන ආර්ථිකය සම්බන්ධයෙන් රවී කරුණානායකගෙන් රජයට ප්‍රශ්න වැලක්

ශ්‍රී ලංකාවේ රෙදිපිළි ඇඟලුම් කර්මාන්තය සහ සාමාන්‍ය භාණ්ඩ අපනයනය 2030 වන විට අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 8-10 ක ඉලක්කයක්ද සමඟින් අපනයන සහ ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවක බලවේගයක් වේ. මෙම අපනයනවලින්…

ශ්‍රී ලංකාවේ රෙදිපිළි ඇඟලුම් කර්මාන්තය සහ සාමාන්‍ය භාණ්ඩ අපනයනය 2030 වන විට අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 8-10 ක ඉලක්කයක්ද සමඟින් අපනයන සහ ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවක බලවේගයක් වේ. මෙම අපනයනවලින් සැලකිය යුතු කොටසක් ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වන එක්සත් ජනපදය වෙත යොමු කර ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වී-ගෝලීයකරණ (De-globalization) ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, එක්සත් ජනපදය ආශ්‍රිතව වෙළඳ හිඟයක් සහිත රටවල් ඉලක්ක කරමින් වෙළඳාම නියාමනය කිරීම සඳහා උපායමාර්ගික මෙවලමක් ලෙස තීරුබදු භාවිතා කරනු ලබයි. ඇමරිකාවේ මින් පෙර පැවැති රාජ්‍ය පාලනයන් විසින් සංවර්ධනය වන රටවල් සඳහා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කළ නමුත්, නව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ අනාගතයේදී ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වෙත ආපසු ගමන් කිරීමේ හැකියාව තවදුරටත් සැලකිල්ලට භාජනය වන කරුණක් වේ.

මෙම සන්දර්භය තුළ, ගරු අමාත්‍යතුමා විසින් පහත සඳහන් තොරතුරු මෙම ගරු සභාවට දැනුම් දෙන්නේද..? ස්ථාවර නියෝග අංක 27 (2) මුදල් අමාත්‍යවරයාගෙන් පහත සඳහන් ප්‍රශ්නය විමසීමට කැමැත්තෙමි.

01.    ඇමරිකා එක්සත් ජනපදයේ වි-ගෝලීයකරණ ප්‍රතිපත්ති සහ විභව තීරුබදු වැඩි කිරීම් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අපනයන, රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයට බලපෑම් කළ හැකි ආකාරය පිළිබඳව රජය ඇගයීමක් සිදු කර තිබේද..?

දැන්වීම

02.    බංකොලොත්භාවයෙන් ඉතා අවදානම් ලෙස ගොඩ එමින් පවත්නා රටක් ලෙස විශේෂයෙන් අපගේ සාකච්ඡා කිරීමේ කුසලතා වැඩි දියුණු කර ගනිමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ එම රජයෙන් විශේෂ සහනයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කර ගැනීමට අපට නොහැක්කේද..?

03.    දැනට පවතින සාමාන්‍යකරණය කළ වරණීයතා පද්ධතිය (GSP) හෝ විකල්ප වෙළඳ විධිවිධාන යටතේ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා අපනයන සඳහා වෙළඳ පොළ ප්‍රවේශය රඳවා ගැනීමට සහ පුළුල් කිරීමට රජය ගෙන ඇති පියවර කවරේද..?

04.    තීරුබදු අවදානම් අවම කර ගනිමින් ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළඳ පොළ තුළ තරඟකාරී මට්ටමක පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිත (USTR) හෝ වෙනත් එක්සත් ජනපද බලධාරීන් සමඟ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබේද..?

05.    එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්ති ආශ්‍රිතව පවත්නා අවිනිශ්චිතතාව සැලකිල්ලට ගනිමින්, අපනයන වෙළඳ පොළවල් විවිධාංගීකරණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ රෙදිපිළි ප්‍රධාන ගැනුම්කරුවෙකු ලෙස එක්සත් ජනපදය මත පවත්නා රඳා පැවැත්ම අඩු කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරමින් පවත්නා ක්‍රියාමාර්ග කවරේද..?

06.    ගෝලීය ආරක්ෂණවාදී ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා රජය වෙනත් රටවල් සමඟ සෘජු විදේශ ආයෝජන (FDI) අවස්ථා හෝ වෙළඳ ගිවිසුම් පිළිබඳ විමසා බලා තිබේද..?

07.    රජය විසින් සිය වෙළඳ උපාය මාර්ගය ගෙනහැර දක්වමින් ඉස්මතු විය හැකි කවර හෝ අවදානමක් සහ එහිලා අනුගමනය කිරීමට අදහස් කරන ප්‍රති-පියවරයන් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරනු ලබන බවට සහතික වන්නේද..?

08.    ශ්‍රී ලංකාවට අඩු නිෂ්පාදන පිරිවැය තත්ත්වයන් පවත්වා ගත හැකි නම්, තීරුබදු පැවතියදී වුව අපගේ රෙදිපිළි අපනයනයන් එක්සත් ජනපද වෙළඳ පොළේ වඩාත් තරඟකාරී මට්ටමක පවත්වා ගත හැකිය. රජය මෙම වෙළඳ අංශය සමඟ අදාළ සංවාදයන් පවත්වමින් සිටින්නේද..?

9.   වි-ගෝලීයකරණ ප්‍රතිපත්තිය සහ තීරුබදු විසින් අභියෝග ඉදිරිපත් කරන අතරම, ඒවා විසින් උපායමාර්ගික ගැලපීම් සඳහා අවස්ථාවන් ද ලබා දෙනු ලබයි. යම් භව්‍ය ප්‍රතිලාභ පවත්නේ නම් ඒවාද ප්‍රයෝජනයට ගනිමින් සෘණාත්මක බලපෑම් අවම කිරීමට අදාළ මාර්ගයන් පිළිබඳ සොයා බැලීම ශ්‍රී ලංකාව විෂයයෙහි තීරණාත්මක වේ. මේ සම්බන්ධයෙන් යම් පියවර ගෙන ඇත්තේ නම් ඒ කවරේද..?

10.    ප්‍රතිපත්ති මැදිහත්වීම් සහ සහාය වැඩසටහන් හරහා රජයට මෙම උපායමාර්ගික ගැලපීම් සඳහා පහසුකම්කරණය සැලසිය හැක්කේ කෙසේද..?

11.    මෙම අපේක්ෂිත තීරුබදු ඉහළ නැංවීම් සැලකිල්ලට ගත්කල කර්මාන්තයට සහ එහි නියුක්ත ශ්‍රම බලකායට සහාය වීම සඳහා රජයට ගත හැකි පියවරයන් කවරේද..?

12.    රජය විසින් ශ්‍රී ලංකාවේ පවත්නා භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් අප රට සෘජු විදේශ ආයෝජන (FDI) සඳහා ඉතා යහපත් ස්ථානයක් බවට හඳුනාගනු පිණිස එක්සත් ජනපද ආයෝජකයින් ආකර්ෂණය කරගත යුතුය. මේ ආශ්‍රිතව යම් පියවරයන් ගත හැක්කේද..?

-රවී කරුණානායක-

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය  

ජාතික ලේකම් 

එකසත් ජාතික පක්ෂය  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
අපනයන ආර්ථිකය සම්බන්ධයෙන් රවී කරුණානායකගෙන් රජයට ප්‍රශ්න වැලක් | Lanka Newsweek