විභාගය පමණක් නොව සමාජ ජීවිතයත් ජය ගත යුතුයි

තමාට පක්ෂ-විපක්ෂ මත දෙකම මධ්‍යස්ථව ඉවසීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ලක්ෂණයයි "ආවොත් කරු පායයි හිරු" පෝස්ටරයේ ඉතිහාසය දේශපාලනයේ සතුරන්-මිතුරන් සිටිනවා ද..? කරූගෙන් දීර්ඝ විග්‍රහයක් එක්ක දූ දරුවන්ට…
තමාට පක්ෂ-විපක්ෂ මත දෙකම මධ්‍යස්ථව ඉවසීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ලක්ෂණයයි
"ආවොත් කරු පායයි හිරු" පෝස්ටරයේ ඉතිහාසය
දේශපාලනයේ සතුරන්-මිතුරන් සිටිනවා ද..?
කරූගෙන් දීර්ඝ විග්‍රහයක් එක්ක දූ දරුවන්ට ඔවදනක්
පාසල කියලා කියන්නේ ඇත්තටම අපේ දූ දරුවන්ට තමන්ගේ අනාගතය ගැන ලස්සන සිහින දකින්න කියා දෙන තැනක්. විවිධ හේතූන් නිසා තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු බිඳුණු, සිහින අහිමි වුණු දරුවන්ට කිසිම පැකිලීමක් නැතුව නැවත එන්න පුළුවන් ආරක්ෂිතම නවාතැන වෙන්න ඕනේ පාසලයි. අන්න ඒ වගේ සිහින බිඳුණු දරුවන්ගේ බිඳුණු සිහින එකින් එක එකමුතු කරලා දෙන එක වගේම, ජීවිතයට කිසිම හීනයක් නැති දරුවන්ට අලුත් ලස්සන හීනයක් හදලා දෙන එක තමයි ඕනෑම පාසලක තියෙන ප්‍රධානම සහ උදාරම වගකීම වෙන්නේ.
පාසලට එන හැම දරුවෙක්ම අධ්‍යාපනය ලබලා ආපහු තමන්ගේ නිවස බලා යන්න ඕනේ මම අසමත්, මට කිසිම වැඩක් බෑ කියන ඍණාත්මක හැඟීම හිතේ තියාගෙන නෙවෙයි. ඒ වෙනුවට මම සමත්, මම දක්ෂයෙක්, මම ජීවිතය ජයගන්න පුළුවන් විශිෂ්ටයෙක් කියන දැඩි ආත්ම විශ්වාසය සහ හැඟීම අරගෙනයි හැම දරුවෙක්ම තමන්ගේ ගෙදර යන්න ඕනේ. අන්න ඒ හීන තවත් පුළුල් කරලා, දරුවන්ව ඔපමට්ටම් කරන සුවිශේෂී තැනක් විදියට අපිට මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව හඳුන්වා දෙන්න පුළුවන්.
මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් කවදාවත් ඔයාලට විභාග ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන විදිහ උගන්වන්නේ නැහැ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපත් සහ ගුණගරුක පුරවැසියෙකුට තමන්ගේ ඉදිරි ගමනට අත්‍යවශ්‍යම වන සැබෑ ජීවිත පාඩම ඔබ හැමෝම එතුළින් ප්‍රායෝගිකව ඉගෙන ගන්නවා. මොකද අපි මොන වගේ ඉහළ විභාග සමත් වුණත් වැඩක් නෑ, සමාජ ජීවිතය නැමැති මහා විභාගය අපි අසමත් වුණොත්. අද අපේ සමාජයේ අධිකරණ සහ බන්ධනාගාර දෙස බලනකොට අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ විභාග සමත් වුණත් සමාජ ජීවිතය නැමැති විභාගය අසමත් වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයි.
දැන්වීම
මූලිකවම ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අනෙකා ඉවසීමටයි. තමන්ට එකඟ විය හැකි මතයන් ඉවසන එක ඕනෑම කෙනෙකුට ඉතාම පහසුයි. හැබැයි තමන්ට එකඟ විය නොහැකි, තමන්ගේ මතයට පටහැනි මතයන් ඉවසන එක තමයි ඇත්තටම අපහසු. අන්න ඒ එකඟ විය හැකි සහ එකඟ විය නොහැකි කියන මත දෙකම හමුවේ නොසැලී, මධ්‍යස්ථව කෙළින් සිටීම තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ප්‍රධානම යුතුකම වෙන්නේ. ඒ නිසා ශිෂ්‍ය පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් හර පද්ධතීන් නියමාකාරයෙන් ඉගෙන ගන්න ලැබෙන හොඳම තොටිල්ලක්.
අද මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් විදිහට, නැත්නම් මන්ත්‍රීවරයෙක් ලෙස ඔයාලා භාර ගන්නේ හුදෙක් තනතුරක් හෝ වරප්‍රසාදයක් විතරක් නෙවෙයි, ඒක ලොකු වගකීමක්. ඔබ මෙහි නියෝජිතයන් විදිහට සභාව ඉදිරියේ හොඳ කතා පවත්වන්නන් විතරක්ම නෙමෙයි, අනිත් අයගේ අදහස්වලට ගෞරවයෙන් සවන් දෙන හොඳ සවන් දෙන්නන් බවට පත්වෙන්න ඕනේ. මම හිටපු කතානායක කියලා කියනකොට ගොඩක් අයට හිතෙන්න පුළුවන් කතා කිරීම තමයි ඔහුගේ ප්‍රධානම කාර්යය, නැත්නම් ඔහු කතාවට නායකයා කියලා. නමුත් ඇත්තටම කතානායකවරයෙකුට තියෙන්නේ සභාවේ අනිත් අය කියන දේවල්වලට වැඩි වශයෙන් අහගෙන ඉන්නයි.
කතා කිරීම වගේම අනෙකාට හොඳින් සවන් දීමට ඉගෙන ගැනීම ප්‍රජාතන්ත්‍රවාදියෙකු සතු විය යුතුම උතුම් ගුණාංගයක්. අනෙකාගේ මතයට සවන් දිය නොහැකි පුද්ගලයෙක් තුළින් අපිට කිසිම දවසක සාධාරණ පුරවැසියෙක් හෝ සාධාරණ නායකයෙක් බිහි කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තු ආකෘතිය ඇතුළේ ඔබ තවත් වැදගත් දෙයක් ඉගෙන ගන්නවා. ඒ තමයි සමාජයේ පවතින ධූරාවලියට ගරු කිරීම. ධූරාවලියට ගරු කිරීම කියලා කියන්නේ කිසිසේත්ම කාටහරි යටත් වීමක් නෙවෙයි, එය තමයි විනයගරුක සහ ශිෂ්ට සම්පන්න සමාජයක පැවැත්ම තීරණය කරන ප්‍රධානම පදනම වෙන්නේ.
මම දේශපාලනයට පැමිණීම අහම්බයක්. මම මුලින්ම යුද්ධ හමුදා නිලධාරියෙක් ලෙස සේවය කරනවා. ඉන් පස්සෙ මම ව්‍යාපාර ලෝකයට පිවිසෙනවා. ලෝකයේ දැවැන්ත සමාගම් වලට නායකත්වය දෙන්න ලැබෙනවා. ඒවායින් ජීවිතයට දැවැන්ත පන්නරයක් ලැබුණා. මම දේශපාලනයට එන්නෙ ආරාධනයකට අනුව 1998. මුලින්ම මම කොළඹ නගරාධිපති ධුරයට පත් වෙනවා. මම මගෙ ජීවිතයේ පෝස්ටර් කටවුට් ගහන එක ප්‍රතික්ෂේප කළා. මම ජීවිතයටම පෝස්ටර් දෙකයි ගහලා තියෙන්නේ. ඉන් එකක් තමා ලංකාවේ ප්‍රසිද්ධම පෝස්ටරයක් උනු "ආවොත් කරු පායයි හිරු" කියන පෝස්ටරය. මම කිසිම දවසක කාටවත් මගේ කටින් කියලා නැහැ මට ඡන්දය දෙන්න කියලා. මම හැමදාම කලේ මගේ ප්‍රතිපත්ති මුද්‍රණය කරලා මගේම වියදමින් මගේ ඡන්ද දායකයන්ට තැපැල් කරන එක. හැමදාමත් මම ක්‍රියා කලේ මට පැවරුණු වගකීම නිවැරදිව ඉෂ්ඨ කරන්න. මම කිසිම දවසක රටෙන් මට දෙයක් බලාපොරෙත්තු උනේ නැහැ.
මම කිසිම දවසක දේශපාලනයේ දී සතුරන් කියලා පිරිසක් ඉන්නවා කියලා හිතන්නේ නැහැ. ඔවුන් සියලු දෙනා විරුද්ධ මතධාරීන්. අද ඩලස් අලහප්පෙරුම මහතා මා සමඟ සිටිනවා. මේ එතුමා ඉගෙනගත් පාසල. එතුමාත් එහෙමයි. අපිට මතවාදීව නොගැලපෙන අදහස් තිබුණත් අවශ්‍ය වේලාවන් හි දී රට වෙනුවෙන් අප එකට එක් මතයක් වෙනුවෙන් ක්‍රියා කරලා තියනවා.
සමහර අය දේශපාලනය මහා කලු දෙයක් විදියට හඳුන්වනවා. එහෙම අතලොස්සකගේ අඳුරු ක්‍රියා නිසා දේශපාලනයම අඳුරු දෙයක් ලෙස අපි සලකන එක වැරදියි. මම මගේ දේශපාලන ජීවිතයේ කිසිම දවසක දෑත් අපිරසිදු කරගෙන නෑ. මම කැමතියි ඕනෑම මොහොතක හෘදය සාක්ෂිය නඩු විමසන වේලාවක මම මට අවංකව නිවැරදි පුද්ගලයෙක් ලෙස මාව හඳුන්වා දෙන්න.
මම හිතනවා දේශපාලනයට අවශ්‍ය ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමිය ලෙස හඳුන්වන්න පුලුවන් සමාජයක්. මම ඒ හීනය දකිනවා. අපි ඒ වෙනුවෙන් අලුත් ආයතනයක් ආරම්භ කලා. දැනට පළාත් පාලන අපේක්ෂකයින්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන නියෝජිතයින් බොහෝ පිරිසක් ඉන් අධ්‍යාපනය හදාරලා තියනවා.
මම කතානායක ලෙස දේශපාලන වේදිකාවෙන් බැස ගියාට පස්සේ මගේ හිතේ කිසිම පසුතැවීමක් හෝ දුකක් නැහැ. ඒකට හේතුව මම පාර්ලිමේන්තුවේදී හෝ දේශපාලන වේදිකාවේදී ප්‍රසිද්ධියේ එතරම් විශාල වශයෙන් කතා නොකළත්, මගේම හෘද සාක්ෂියත් එක්ක නිරන්තරයෙන්ම කළ පුළුල් සහ අවංක කතාවක් මට හැමදාම තිබීමයි. අවසන් වශයෙන් මම ඔබ හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ, ඔබ අනාගතයේ කවර වෘත්තියක නිරත වුණත්, මොන වැනි ඉහළ තනතුරකට පත් වුණත්, ඔබ කරන කියන හැම දෙයක් ගැනම අන් සියල්ලටම කලින් ඔබේම හෘද සාක්ෂිය සමඟ අවංක අවසන් සාකච්ඡාව පවත්වන්න. එතකොට ඔබ මුළු ජීවිතයෙන්ම සමත් විශිෂ්ටයෙක් වේවි.
ශ්‍රී ලංකාභිමාන්‍ය
-කරු ජයසූරිය-
හිටපු කතානායක.
මාතර රදම්පොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සහභාගී විය. එම අවස්ථාවට එම පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ප්‍රදේශයේ
වැදගත් පිරිසක් සහභාගී වූහ. කරු ජයසූරිය මහතා එහි දී දරුවන්ගේ පුස්තකාලය වෙනුවෙන් කෘති කිහිපයක් ද පිළිගැන්වීමට අමතක නොකළේය. එහිදී ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා කළ දේශනය ඇසුරින් ඉහත ලිපිය සකස් කෙරිණ.










