රටේ සියලු ආයෝජන සහ පාර්ශවකාරීත්වයන් පූර්ණ වගවීමෙන් සහ නිසි නියාමනයකින් සිදු විය යුතුයි
අගමැතිනිය අවධාරණය කරයි

(සංජනා ද සිල්වා)
දැන්වීම
විශාල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයෝජනද අවශ්‍ය නමුත්, රට තුළ සිදුකරන සියලු ආයෝජන සහ පාර්ශ්වකාරීත්වයන් සම්පූර්ණ වගවීමකින් හා නිසි නියාමනයක් යටතේ සිදුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) දෙවන අදියර නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට බදාදා (30) එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ බව අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ නූතන තාක්ෂණයෙන් පිරි තරඟකාරී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වරාය ක්ෂේත්රයට විශාල කාර්යභාරයක් පැවරෙන බවද ඇය පෙන්වා දුන්නාය.
ඉන්දියන් සාගරයේ ප්‍රධාන නාවික මාර්ග ආසන්නයේ ශ්‍රී ලංකාව පිහිටීම රටට ලැබී ඇති වැදගත් වාසියක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, රටේ වරාය පද්ධතිය, පුහුණු ශ්‍රම බලකාය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ඇති ප්‍රවේශය උපයෝගී කරගනිමින් තිරසාර ආයෝජන ආකර්ෂණය කර ගැනීම, රැකියා උත්පාදනය සහ අපනයන වර්ධනය අපේක්ෂා කරන බවද සඳහන් කළාය.
බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ භාවිත වන ස්වයංක්‍රීය දොඹකර, විදුලි පර්යන්ත වාහන සහ සජීවී නිරීක්ෂණ පද්ධති වැනි නවීන ඩිජිටල් තාක්ෂණයන් අගය කළ යුතු බවත්, එවැනි තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශීය තාක්ෂණික සහ මානව කුසලතා සංවර්ධනය කිරීමද අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
එමෙන්ම, රටට පැමිණෙන ආයෝජනවල ප්‍රමාණය පමණක් නොව, ඒවායේ ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික හා උපායමාර්ගික අරමුණු සමඟ ගැළපීම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ගොඩනගන ශක්තිමත් සබඳතා මත රඳා පවතින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාව සමඟ පවතින වෙළෙඳ, ආයෝජන සහ ජනතා සබඳතා දෙරටේ අන්‍යෝන්‍ය අභිලාෂයන්ට සහ ප්‍රමුඛතාවලට ගරු කරමින් තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව පවතින බවද පෙන්වා දුන්නාය.