අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ ලොකුම ප්‍රශ්න විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීම බවට පත් කරලා

රටේ ලොකුම ප්‍රශ්න විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීම බවට පත් කරලා

- විපක්ෂ නායක - අද වන විට බොහෝ දෙනා කතා කරන දෙයක් වන්නේ රටේ ප්‍රශ්නවලට වඩා අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම බවත් මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත් දැන් රටේ ලොකුම…

 - විපක්ෂ නායක - 

අද වන විට බොහෝ දෙනා කතා කරන දෙයක් වන්නේ රටේ ප්‍රශ්නවලට වඩා අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම බවත් මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත් දැන් රටේ ලොකුම ජාතික ප්‍රමුඛතාව වන්නේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම බවත්, පොහොර සහනාධාරය වාරි පුනරුත්ථාපනය, සිරගෙවල්වල ගැටලු විසදීම නොව රටේ ලොකුම ප්‍රශ්නය දැන් මෙය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉරිදා (10) රුවන්වැල්ල ප්‍රදේශයේ කන්නන්තොට රොෂානා ශාලාවේදී පැවැති සමගි වනිතා බල මණ්ඩලයේ රුවන්වැල්ල ශාඛාව පිහිටුවීමේ අවස්ථාව හා එක්වෙමිනි.

ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි වූවා කියා ජනතාවගේ ගැටලු විසදෙන්නේවත් දුප්පත්කම තුරන් වන්නේවත් විරැකියා ගැටලුවට විසදුම් ලැබෙන්නේවත් නොමැති බවත් මේ විශ්‍රාම වයස වැඩි කිරිම තුළ රජයේ අපේක්ෂා කළ පොහොසත් රට ලස්සන ජිවිතය නිර්මාණය වී තනි පක්ෂයක් මුළු රටම පාලනය කරන වැඩපිළිවෙළ නිර්මාණය වන බවත් විපක්ෂ නායවරයා පැවසීය.

දැන්වීම

රජය උත්සාහ කරන්න රටේ තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න

තනි පක්ෂ පාලනයක් ඇති වී ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටී අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල වී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බිද වැටෙන බවත් දැන් ලක්ෂ 12 විට්ස් කාර් එක නැති බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වත් ඊටත් වඩා විදුලි බිල දැන් වැඩි කර ඇති බවත් වරායේ ගොඩබාන මිලටම තෙල් දෙනවා කිව්වත් එය ද නොමැති බවත් පොහොර සහනාධාරය පවා දැන් ප්‍රමාණවත් නොමැති බවත් තෙල් පොහොරවල සිට කෘෂි උපකරණ දක්වා බදු අය කර ඇති බවත් මේ නිසා අවසානයේ දුක් විදින්නේ ජනතාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය කාලේ පැලවත්තේ ලිස්ට් එකට යෞවන සමාජ සාමාජිකයන් පවා පත් කළා

එක් පක්ෂයක් තමන්ගේ රාජ්‍යයම ග්‍රහණයට ගැනීමේ එක් පියවරක් වන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරිම බවත් පසුගිය කාලයේ යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටුවලට පවා පැලවත්තේ පක්ෂ කාර්යාලයේ ලිස්ට් එක අනුව තනතුරු පත් කළ බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ව්‍යාපෘතියක් දියත් කළ මේ රජය දැන් ගරු අධිකරණයට පවා බලපෑම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුත්තේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටයි

කාන්තාවන්‌ගේ, දරුවන්ගේ, පුරවැසියන්ගේ, වැඩිහිටියන්ගේ අයිතිය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාව තිබුණත් ඒ කිසිවක් මේ රජය සිදු නොකළ බවත් රජය මේ දේවල් නොකළත් දැනට මූලික අයිතිවාසිකම්වලට අයත් නොවන කාන්තා, ළමා, වැඩිහිටි, අවදානම් පාර්ශ්වයන්ගේ අයිතිය මූලික අයිතිවාසිකමක් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය පක්ෂයේ ඒකාධිකාරය රටේ ස්ථාපිත කරන්න හදනවා

ආණ්ඩුවට ජන වරම ලැබුණේ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න නොව පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති කරන්න බවත් දැනුවත් මැතිවරණ සමයේ පැවසූ පොරොන්දු ඉටු කිරිමට රජය සිදු කළ යුතු බවත් දැන් රජය කරන්නේ බොරු කියමින් ප්‍රශ්න යට ගැසීම බවත් රටේ 30-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වී ඇති බවත් රෝහල් වල ඖෂධ නොමැති බවත් ඒවා පෞද්ගලික ෆාමසිවලින් ලබා ගැනීමට සිදුව ඇති බවත් මෙවැනි ගැටලු තිබියදී රජය කරන්නේ තම පක්ෂයේ ඒකාධිකාරය රටේ ස්ථාපිත කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උපරිමාධිකරණවල පුරප්පාඩු රැසක් තිබියදී ඒවා සම්පූර්ණ කරන්නේ නෑ

ලක්ෂ 11ක නඩු අතරමග නතර වූවා යැයි පවසා මේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වැඩි කරන්න හදනවා කියන රජය තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු සම්පූර්ණ කර නොමැති බවත් රජය මේ කරන්නේ අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෘහයේ ආර්ථිකය වර්ධනය කළ යුතුයි
 

සබරගමු පළාත් දළ දේශීය නිෂ්පාදනයට 7.7%ක් දායකත්වය ලබා දෙන විට බස්නාහිර පළාත 2024 වසරේ පමණක් දළ දේශීය නිෂ්පාදනයට 42.4%ක් දායකත්වය ලබා දෙන බවත් මධ්‍යම පළාත් 10.7%, නැගෙනහිර පළාත 5%ක් උතුරු මැද පළාත 4.6%ක්, උතුරු පළාත 4.4%ක්, දකුණු පළාත 8.9%ක්, ඌව පළාත 4.8%ක දායකත්වයක් ලබා දෙන බවත් මෙහි අරුත වන්නේ ප්‍රාදේශීය හා ගෘහයේ ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් කර්මාන්තශාලා, දිළිදු කම තුරන් කරන ශක්තිමත් ජාතික වැඩපිළිවෙළක්, කෘෂිකර්මාන්තය දියුණු කිරීම, නිෂ්පාදන කර්මාන්ත ආදිය ගොඩනැංවීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න