රටේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ

- විපක්ෂ නායක - පුදුමාකාර කුහකකමකින් උද්දච්චකමකින් වත්මන් රජය කටයුතු කරන බවත් ඡන්දය දුන්න ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාව ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කළත් කිසිදු ක්‍රමයේ වෙනසක් නොවී පැවැති ක්‍රමයේ වෙනස පවා…
- විපක්ෂ නායක -
පුදුමාකාර කුහකකමකින් උද්දච්චකමකින් වත්මන් රජය කටයුතු කරන බවත් ඡන්දය දුන්න ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාව ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කළත් කිසිදු ක්‍රමයේ වෙනසක් නොවී පැවැති ක්‍රමයේ වෙනස පවා පරිහානියට ලක් කර ඇති බවත් එදා මැතිවරණ සමයේ වී කිලෝවක් සඳහා රු. 150ක ස්ථාවර මිලක් ලබා දෙන බව පැවසූ නිසා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන වත්මන් රජයට ඡන්දය දුන් බවත් ගොවි දුකට පිහිටවෙයි කියා බලයට ගෙන ආ වත්මන් රජය අද වන විට ගොවි ජනතාව අන්ත අසරණ කර සමාජ මාධ්‍ය බලකාය තුළින් වත්මන් රජයේ වහලුන් උපයෝගී කර ගෙන මඩ ගහමින් යන බවත් විපක්ෂ නායකසජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලාල්කාන්ත කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බවට පැවසූ නමුත් අද වී කිලෝවක් සඳහා දෙන්නේ රු. 120ක මිලක් බවත් අද වන විට රු. 17ක පාඩුවක් ගොවියාගේ කරපිට පටවා ඇති බවත් මේ ආකාරයට බොරු නොකියා රවටන්නේ නැතිව ගොවි ජනතාව ආරක්ෂා කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ගොවි ජනතාව සහ පුරවැසියන් මෝඩයෝ නොකර රවටන්නේ නැතිව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නැගෙනහිර අනුරාධපුර, පාවක්කුලමේ ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගය සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් අමතමිනි.
දැන්වීම
රටේ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් වුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් නිෂ්පාදනය කර රටේ සහල් අතිරික්තයක් තිබියදී පවා වත්මන් රජය සහල් ආනයනය කරමින් සිටින බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට සහල් ආනයනය ගැන කිව්වේ කොමිස් ගහන්න ඕන නිසා සහල් ආනයනය කරනවා කියා වුවත් අදටත් මේ රජය සහල් ආනයනය කරන බවත් පසුගිය වසර 2ට පමණක් සහල් මෙට්‍රික් ටොන් 380000ක් ආනයනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇයි අපට සහල් අපනයනය කරන්න බැරි..?
අප රට ඇතුළේ 76%ක් රතු සහ සුදු නාඩු ඉල්ලන විට 12%ක් සම්බා සහ 12%ක් කිරී සම්බා ඉල්ලුමක් ඇති බවත් උත්සහ කළොත් අප රටෙන් සහල් ආනයනය කරනවාට වඩා අපනයනය කරන රටක් බවට පත්විය හැකි බවත් දැනටමත් කුඩා ප්‍රමාණයෙන් සහල අපනයනය කරන නිසා මේ ඉලක්කය වැඩි කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කෘෂි රසායන සම්බන්ධ රාජ්‍ය නියාමනයක් නෑ
කඩෙන් කඩයට කෘෂි රසායන මිල වෙනස් වී මිල පාලනයක් නොමැති බවත් ග්ලයිෆොසේට් ලීටර් 4ක් වගාවට අවශ්‍ය වන විට රටට ආනයනය ගොඩබාන මිල සහ කඩයට ලැබෙන මිලත් සමග මිල දෙගුණයක් වන බවත් මේ බෙදාහැරීමේ ක්‍රියාවලියේ කිසිදු රාජ්‍ය නියාමනයක් නොමැති බවත් ඒ නිසා මේ සඳහා නියාමන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය දන්නේ බොරුවයි රැවටිල්ලයි විතරයි
ගොවියා කණකර උගස් කර ගිණි පොළියට ණය ගෙන වගාව ආරම්භ කළත් අද ගුණාත්මක භාවයෙන් යුක්ත බීජ නොමැති වීම, පොහොර සහනාධාර අරමුදල් වෙලාවට නොලැබීම සේම ප්‍රමාණවත් නොවීම, 2013 පොහොර නිර්දේශය පවා වෙනස් නොකර ඇති බවත් දැනටත් රජය කරන්නේ බොරුව සහ රැවටිල්ල බවත් ඊට අමතරව ගොවියාගේ නිෂ්පාදනවලට පවා ස්ථාවර මිලක් නොමැති බවත් පිරිවැය වියදම ආවරණය නොවන ස්ථාවර මිලක් රජය ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය පසුපස ඉන්න ධන කුවේරයන්ට අනුවයි වැඩ කරන්නේ
බොහෝ ආණ්ඩු පසුපස සිටි ධන කුවේරයන් මේ රජය පසුපස ඇවිත් සිටින බවත් මේ සියල්ලන් ගිජිලිහිණියන් සේ මේ රජය වටේ කැරකැවී තමන්ගේ කොටස සහ වාසිය ගන්න පෙළ ගැසී ඇති මුත් රජය බිහි කරන්න කතිරය ගැසූ කිසිවෙක්ට කිසිදු සහනයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය අයි.එම්.එෆ්. එසේ සුරතලා වෙලා
අයි.එම්.එෆ්. එකේ සුරතලුන් බවට මේ රජය පත්ව ගැසිය හැකි උපරිම බදු ගසා මහා භාණ්ඩාගාරයේ ටොන් ගණනක් මුදල් ඉතිරි කර ඇති බවත් මේ ආකාරයට ඉතිරි කර ගත් මුදල්වලින් ගොවි ජනතාවට සහන නොදෙන්නේ ඇයි ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ මුදල් උපයෝගී කර ගෙන දුගී දුප්පත්කම තුරන් කරන ස්ථාවර වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි වුවත් රජය ඒ කිසිවක් නොකරන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියාගෙන විධායක බලතල තියාගෙන මේ රජය හිතෙන හිතෙන ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අද කෘෂිකර්ම ඇමති ගොවියාට තර්ජනය කරනවා
ගොවියා දෙවියා කියා ගොවියා රජතුමා කියා මැතිවරණ සමයේ කිව්වත් වී මිල ඉල්ලා ගොවියා මහපාරට බසින විට ගොවි ජනතාව කෘත්‍රිම ගොවියන් කසිප්පුකාරයන් බවට පත්ව ඇති බවත් අද වන විට කෘෂිකර්ම ඇමතිවරයා ගොවියාට තර්ජනය කිරීමක් ද සිදු කරන බවත් මර්දනය කර පීඩනයට ලක් කර ගොවි ජනතාව මැඩපැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අපේ ඉල්ලීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට රු. මි. 7500ක් වෙන් වුණා
රජයක් ලෙස වී මිල දී ගන්නේ සමස්ත අස්වැන්නෙන් 2.5% හෝ 3%ක් වුවත් ඉතිරි කොටස කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කළ යුතු වුවත් මේ රජය හරියට එයවත් කර නොමැති බවත් විපක්ෂය මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා විපක්ෂයේ අනුමැතිය ද සහිතව රු. මි. 7500ක් මේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වෙන් කළ බවත් විපක්ෂයේ බලවත් ඉල්ලීම නිසා මේ දේ සිදු වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය බොරු දත්ත මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරනවා
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගණනය අනුව එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වෙන්න රු. 17315ක් ප්‍රමාණවත් බවත් මේ බොරුව ජාතික වශයෙන් ප්‍රචලිත කර ඇති බවත් මොවුන් මේ ව්‍යාජ ඉලක්කම් ඉදිරිපත් කර ජනතාව රවටමින් යන බවත් බොරුකාර වංචාකාර දත්ත සංඛ්‍යා ලේඛන මත පදනම්ව මේ අය ප්‍රතිපත්ති සකස් කරමින් යන බවත් දැන්වත් ජාතික වැඩපිළිවෙළක් රටම ආවරණය වන ආකාරයට සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.