රට වටේ යන්න කලින් ජනපති දුන් පොරොන්දු ඉටු කළ යුතුයි

22 වැනි සංශෝධනයට ජන මත විචාරණයක් අවශ්‍යයි මැතිවරණ පොරොන්දු රැසක් තවමත් ඉටුවී නැහැ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි ජනාධිපතිවරයා රට පුරා සංචාරය කිරීමට පෙර ජනපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී ජනතාවට ලබා…
22 වැනි සංශෝධනයට ජන මත විචාරණයක් අවශ්‍යයි
මැතිවරණ පොරොන්දු රැසක් තවමත් ඉටුවී නැහැ
ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි
ජනාධිපතිවරයා රට පුරා සංචාරය කිරීමට පෙර ජනපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු වහාම ඉටු කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හිටපු අමාත්‍ය අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කොළඹදී පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කර සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ජනාධිපතිවරයා රට පුරා සංචාරය කිරීම ඔහුගේ අයිතියක් වුවද, එම සංචාරවලට පෙර ජනතාවට ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු සම්බන්ධයෙන් රජය වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ද සඳහන් කළේය.
විශේෂයෙන් ඉන්ධන මිල සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු, විදුලි ගාස්තු අඩු කිරීම, තරුණයන් සඳහා සහනදායී මිලකට මෝටර් රථ සහ යතුරු පැදි ලබාදීම සේම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා "VAT" බද්ද ශුන්‍ය කිරීමට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
දැන්වීම
රටේ ජනතාව මේ වන විට ජීවන වියදම් සම්බන්ධයෙන් දැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටින බවත්, රැකියා සහ ආර්ථික අවස්ථා සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් තරුණයන් විශාල පිරිසක් විදේශගත වෙමින් සිටින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
මේ අතර යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැඩි ලෙස අවධාරණය කළේ, මෙම සංශෝධනය සඳහා ජන මත විචාරණයක් පැවැත් විය යුතු අතර ශ්‍රී ලංකාවේ බහුතර නීතිඥයන්ගේ සේම ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේද මතය වී තිබෙන්නේ ද ඒ සඳහා ජන මත විචාරණයක් අවශ්‍ය බවය.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී තීන්දුවක් ලබා දෙනු ඇති බවත්, අදාළ තීන්දුවට අනුව ජන මත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය විය හැකි බවත් පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දේශපාලන බලපෑම්වලට යටත් නොවී තීන්දු ලබාදීම සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් පවතින බවය.
අධිකරණය පිළිබඳ ජාත්‍යන්තර අවධානයක් පවතින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වඩාත් විවෘත සංවාදයකට යොමු විය යුතු බවත් අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.