අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

මුදල් ඇමතිත් Fail-අය වැයත් Fail-මෙන්න දත්ත..!

මුදල් ඇමතිත් Fail-අය වැයත් Fail-මෙන්න දත්ත..!

ස්ථාවර රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් නැහැ රටේ අයවැය හිඟය 2025 වන තෙක්ම 10%ක් හෝ ඊට වැඩි වේවි පාර්ලිමේන්තුවේ නීති පාර්ලිමේන්තුවම උල්ලංඝනය කරලා සම්මත කර ගත් අයවැයක් 2022 වසර ශ්‍රී ලංකාවේ විදේශ ණය…

ස්ථාවර රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියක් නැහැ

රටේ අයවැය හිඟය 2025 වන තෙක්ම 10%ක් හෝ ඊට වැඩි වේවි   

පාර්ලිමේන්තුවේ නීති පාර්ලිමේන්තුවම උල්ලංඝනය කරලා සම්මත කර ගත් අයවැයක් 

මුදල් ඇමතිත් Fail-අය වැයත් Fail-මෙන්න දත්ත..!

2022 වසර ශ්‍රී ලංකාවේ විදේශ ණය කළමනාකරණයට සේම සමස්ත ආර්ථිකයටම තීරණාත්මක වසරක් වන අතර 2022 සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත් අය-වැය යෝජනාවලිය සම්බන්ධයෙන් "Verité Research" ආයතනය මගින් සිදු කෙරුණු පර්යේෂණ සහ විශ්ලේෂණවලදී 2022 වර්ෂයේ අයවැය සම්බන්ධයෙන් කිව හැකි කාරණා පහත පරිදි වේ. 

ස්ථාවර රාජ්‍ය මුල්‍ය  ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීමට මෙම අයවැය අසමත් වී ඇත 

2020 ජනවාරි මස රජය නව බදු ව්‍යුහයක් ස්ථාපිත කළේය. මේ හරහා ආයතනික සහ පුද්ගලික ආදායම් බදු වගේම එකතු කළ අගය මත බදු (VAT) ඇතුළු ප්‍රධාන බදු සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ අරමුණ ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ අවම වශයෙන් වසර 5ක කාලයකට ස්ථාවරව පවතින නිශ්චිත පහළ මට්ටමක බදු ව්‍යූහයක් ඇති කිරීමයි. 

දැන්වීම

2022 අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා එම අපේක්ෂිත අරමුණ කරා ළඟා වීමට ඇති හැකියාවට අකුල් හෙළයි. මුල්‍ය ආයතනවලට පනවන ලද එකතු කළ අගය මත බද්ද සහ අධි භාර බද්ද වැනි බදු හරහා රජය පෙර අඩු කරන ලද බදු වැඩි කිරීමට ද, බදු ස්ථාවරත්වයට හානි කරන එක වරක් පමණක් අය කරන බදු හඳුන්වා දීමට ද, අතිතයට බලපාන ලෙස ඇතැම් බදු ක්‍රියාත්මක කිරීම ද හරහා බදු ව්‍යූහයේ නිශ්චිත බව අඩු කිරීමට කටයුතු කර ඇත.  
 
එක වරක් පමණක් ගෙවිය යුතු බදු යෝජනා කිරීමල වර්තමානයේ කම්පනයක් ඇති කිරීමට සේම අනාගතයේ බදු පිළිබඳ අවිනිශ්චිත බව වැඩි කිරීමට ද හේතු වේ. එක වරක් පමණක් ගෙවිය යුතු බදු හරහා 2022 උපයා ගත් ආදායම 2023 දී ලබා ගැනීමට රජය කුමන ආකාරයේ නව බදු හඳුන්වා දෙනු ඇතිදැයි අනුමාන කරමින් සිටීමට ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට සිදුව ඇත. 

ඉතා ඉහළ අයවැය හිගයන්ට මාර්ගය විවර කරන මෙම අයවැය, රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වය වැඩි කිරීමටද හේතු වේ. රජයේ අයවැය සහ ආර්ථික දත්ත පදනම් කර ගනිමින්  "Verité Research"  ආයතනයමගින් කෙරුණු පුරෝකථනයන්ට අනුව 2025 වන තෙක්ම මෙරට අයවැය හිඟයන් 10%ක් හෝ ඊට වැඩි මට්ටමක පවතිනු ඇත.    

රාජ්‍ය මුල්‍ය පුරෝකථන පිළිබඳ විශ්වසනීයත්වයක් ගොඩ නැගීමට මෙම අයවැය අසමත් වී ඇත

"Verité Research" ආයතනය මගින් 2021 අයවැය සම්බන්ධයෙන්ද මෙවැනිම වූ ප්‍රසිද්ධ වාර්තාවක් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු අතර එම අයවැයෙන් 2021 වසර සඳහා ඇස්තමේන්තුගත ආදායම වන රුපියල් බිලියන 2019 වෙනුවට රජයට ලබා ගත හැකි වෙන්නේ රුපියල් බිලියන 1523ක් බව එම වාර්තාවේ සඳහන් විය. මේ වන විට 2021 සඳහා රජය අපේක්ෂා කළ ආදායම  "Verité Research"  ආයතනය මගින් කෙරුණු ඇස්තමේන්තුවට ඉතාමත් ආසන්න අගයක් වන රුපියල් බිලියන 1,556 දක්වා සංශෝධනය කර ඇත. 

"Verité Research" හී 2021 වාර්තා පෙන්වා දෙන්නේල මුදල් අමාත්‍යංශය විසින් නිරන්තරයෙන් රජයේ ආදායම අධි තක්සේරු කර ඇති අතර අයවැය හිඟය අවතක්සේරු කර ඇති බවයි. රජය විසින් පුරෝකථනය කරන ලද අදායම සහ සත්‍ය අදායම අතර වැඩිම පරතරය 2021 වසරේදී වාර්තා වී ඇත. 2022 වසරේදී පුරෝකථනයන්ද මෙලෙසම යථාර්ථවාදී නොවන අගයන්ය. "Verité Research" ආයතනයේ ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ, 2022 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත රුපියල් බිලියන 2,321 ක් වන මුළු ආදායම් සහ ප්‍රධාන අගය රුපියල් බිලියන 1,900 දක්වා සංශෝධනය කළ යුතු බවයි. මෙමගින් රුපියල් බිලියන 2,020 ක අයවැය හිඟයක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.1%ක් ) ඇති වීමට ඉඩ ඇත. 

මෙම තත්ත්වය මුදල් අමාත්‍යංශය පුරෝකථනය කරන ලද රුපියල් බිලියන 1,606 ක (දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.8‍්‍%) අයවැය හිඟයට වඩා බෙහෙවින් අධිකය. "Verité Research" හී මෙම ප්‍රසිද්ධ වාර්තාව මගින් මෙම පුරෝකථනයන් සදහා අත්‍යවශ්‍ය, නිශ්චිත බදු සහ ප්‍රධාන වියදම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු සපයයි. උදාහරණයක් ලෙස, යෝජිත සමාජ ආරක්ෂණ දායකත්වයෙන් රුපියල් බිලියන 140ක ආදායමක් ලැබෙන බවට මුදල් අමාත්‍යංශය මගින් ඇස්තමේන්තු කර ඇති නමුත් "Verité Research" හි ඇස්තමේන්තු කිරීමට අනුව ලබා ගත හැකි වන්නේ රුපියල් බිලියන 84ක ආදායමක් පමණි. 

සුරාබදු සම්බන්ධයෙන් රජයේ ඇස්තමේන්තු විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සඳහන් කර ඇති අගයන් විශ්වසනියත්වයෙන් අඩු බවයි. උද්ධමනය ආදියට සරිලන පරිදි දුම්වැටි බදු වැඩි කිරීම සඳහා පසුගිය අයවැයවලින් ප්‍රකාශයට පත් කළ මිල සූත්‍ර ක්‍රියාතමක වී නැත. අයවැය මගින් රුපියල් 5 කින් දුම් වැටියක මිල වැඩිවීම බොහෝදෙනා අර්ථකථනය කරන ලද්දේ එම අගය මත බදු වැඩිවීමක් ලෙසය. කෙසේ නමුත් ගැසට් මගින් සිගරට් බදු වැඩි වන්නේ රුපියල් 2.5 ක පමණ (එනම් අර්ථකථනය කරන ලද අගයෙන් හරි අඩක් පමණ) වූ හරිත සාමාන්‍යයකින් පමණි. එලෙසම වෙළද පොළේ දෙවනියට වැඩිම පංගුවක් හිමි දුම් වැටී මත පනවන ලද බදු 50‍්‍%ක් පමණ අඩු කරන ලදී. මෙමගින් මිල අඩු දුම් වැටි වෙත ආදේශනය වීම නිසා රජයේ අදායම පහළ යනු ඇත. මේ හේතුවෙන් රජය දුම් වැටි බදු  මගින් ලබන අදායම විශාල ලෙස අධි තක්සේරු කර ඇත.

අයවැයෙන් ඉදිරිපත් කරන ලද මාධ්‍ය කාලීන රාමුවේ (MTF) අඩුපාඩු රාශියක් ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි. 2021 අයවැයට පාදක කර ගත් මාධ්‍ය කාලීන ආර්ථික රාමුව සහ 2022 අයවැයට පාදක කර ගෙන ඇති මාධ්‍ය කාලීන ආර්ථික රාමුව අතර ඇති විශාල වෙනස, මුදල් අමාත්‍යංශයේ පුරෝකථනවල විශ්වසනීයත්වය පිළබඳ සැක සංකා මතු කරයි. එසේම එම වෙනස මගින් පිළිබිඹු වන්නේ එවැනි පුරෝකථන කිරීමේදී භාවිතා කර ඇති විශ්ලේෂණවල ඇති දුර්වලතාවන්ය.  "Verité Research" ආයතනය විසින් මාධ්‍ය කාලින රාමුව පිළිබඳ කරන ලද පුරෝකථනයන් පෙන්වා දෙන්නේ 2025 වන විට රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 116.1ක් පමණ වනු ඇති බවයි. එම අගය රජය පුරෝකථනය කරන ලද 89.2% අගයට වඩා ඉහළ අගයකි. 

ගෝලීය වෙළෙඳ පොළවල  සහ ශ්‍රේනිගත කිරීමේ ආයතනයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට අයවැය අසමත් වී ඇත

විශේෂයෙන් අයවැය හිඟය, ප්‍රාථමික හිඟය සහ මාධ්‍ය කාලීන රාමුව යන දර්ශක ශ්‍රේණිගත කිරීමේ ආයතන සහ ගෝලීය වෙළඳ පොළවල් විසින් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. අයවැය හිඟය සහ රාජ්‍ය ණය ගමන් ගන්නා මග නිවැරදිව විශ්වසනීයත්වයෙන් යුතුව දැක්වීමට අපොහසත් වීම හේතුවෙන් ශ්‍රේණිගත කරන ආයතන තව දුරටත් ශ්‍රී ලංකාව පහළ මට්ටමකට තල්ලු කිරීමට ඇති අවදානම ඉහළ යා හැක. එවැනි අහිතකර ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියකට ලක් වුව හොත් විදේශ ණය කළමනාකරණය කිරීමට සහ සම්පූර්ණ ස්වෛරී ණය පැහැර හැරීමක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් වෙත හානි කර බලපෑමක් එල්ල වනු ඇත.

රාජ්‍ය මුල්‍ය විනය ගොඩනැගීම සඳහා හඳුන්වා දෙන ලද රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනතේ දක්වා ඇති නීති, විධායකය විසින් උල්ලංඝනය කරන අවස්ථා කිහිපයක් ද මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත. නිදසුනක් වශයෙන් මෙම පනත විසින් අයවැය හිඟය සඳහා විය හැකි උපරිම අගය ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක අගයක් නියම කර තිබුණ ද 2022 අයවැයේ යෝජිත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.8% කි. මේ අනුව මෙවර අයවැය පාර්ලිමේන්තුව විසින්ම පනවන ලද නීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් අයවැයක් බව කිව යුතුය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න