අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙස මේ රජය සහ ජනාධිපති ඉතිහාස ගත වෙනවා

ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙස මේ රජය සහ ජනාධිපති ඉතිහාස ගත වෙනවා

- විපක්ෂ නායක - ජනතාව එක්ක සමාජ ගිවිසුමක් ඇති කර ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා රජය බලයට පැමිණි බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රමයේ වෙනසක් බවත් විධායකය රටේ අධිකරණය තමාගේ වහලකු සුවච කීකරු…

- විපක්ෂ නායක - 

ජනතාව එක්ක සමාජ ගිවිසුමක් ඇති කර ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා රජය බලයට පැමිණි බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රමයේ වෙනසක් බවත් විධායකය රටේ අධිකරණය තමාගේ වහලකු සුවච කීකරු ගෝලයකු බවට පත් කර ගැනීමත්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කර ගරු විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඇති විශ්වාසය පදුලු කර නීතියේ ආධිපත්‍යය නැති කිරීමත් ක්‍රමයේ වෙනසක් බවත් මේ ක්‍රමය වෙනස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිවාදයට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයේ ඇති ආයතන පලුදු කර තනි පක්ෂයක් රට පාලනය කරන ක්‍රමයේ වෙනසක් කරා රට ගෙන යන බවත් මේ ක්‍රියාවලිය රටේ ව්‍යවස්ථා ඉතිහාසයේ ලියවෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙස මේ රජය සහ ජනාධිපතිවරයා ඉතිහාස ගත වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමේ පේටන්ට් බලපත්‍රයත් රජයට ලැබෙන බවත් ඒ තරමටම ඉතාම නින්ධිත ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, බලය බෙදීම හා සංවරණ හා තුලන විනාශ කරන මේ 22 වැනි සංශෝධනය යනු රජය පොරොන්දු වු ක්‍රමයේ වෙනස නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සැබෑ යථාර්ථය දැන ගන්න ජනතාව ළඟට යන්න

රජය පොරොන්දු වුයේ රටට වගකියන විධායකය අහෝසි කරන නව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත් ෆිච් රේටින්, ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර්,මූඩීස් ආදි ශ්‍රේණිගත කිරීම් හොඳයි කියා රජය කිව්වත් ගොවි ජනතාව හමුවී මේ ගැන සැබෑ යථාර්ථය දැන ගන්නා ලෙස රජයට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන්වීම

රජයට රට ගොඩගන්න හරිහමන් වැඩපිළිවෙළක් නැ

වී කිලෝවට අදටත් රු.150ක සහතික මිල නැති බවත් ත්‍රීරෝද රථ රියදුරන්, ස්වයං රැකියා කර්මාන්ත හා ව්‍යවසායකයන්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජය ශ්‍රේණිගත කිරීම් ගැන කිව්වත් අද කර්මාන්තකරුවන් රට අතහැර යන බවත් දේශීය බහුජාතික සමාගම් පිටරටවල පවා විවෘත කරන බවත් මෙයට හේතුව සෘජු විදේශ ආයෝජනවලට හිතකර අපනයන කේන්ද්‍රීය වැඩපිළිවෙළක් ⁣හා පරිසරයක් නොමැති වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොඩි මිනිසාගේ රජය රට රැකියා ජාවාරම්වලට අහුවෙලා

එක් පුද්ගලයකුට ජිවත් වෙන්න රු. 17315ක් ඇති බවට රජය කිව්වත් ඒවා රැවටිලි බවත් රජය මේවා මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන බවත් අද අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා සොයන ඊශ්‍රායල් යන්න ඉන්න තරුණයන් 135ක් සිටින බවත් 2025 පෙබරවාරි සිට මේ අය ලොතරැයියට යොමු නොකර ක්‍රමවේද වෙනස් කර මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පොඩි මිනිහාගේ රජය කියන මේ රජය ප්‍රවර්ධනය කරන්නේ ලක්ෂ 35න් ඊශ්‍රායල් යන වැඩසටහන බවත් පුලුවන් නම් මේ තරුණයන් හමුවන ලෙස රජයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට ඔය කියන තරම් හොඳ නම් පළාත් සභා පවත්වන්න

කයිවාරු සංදර්ශන නැතිව ප්‍රශ්නවලට උත්තර දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ යුතුකම ඉටු කරන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් රජය කියන තරමට ජනතාවට රටට හොඳ නම් සතුටින් ඉන්නවා නම් වහාම ජනතා මතය සොයන්න පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් තේරීම් කාරක සභා දමා බොරු හේතු කිය කියා පළාත් සභා මැතිවරණය කල් නොදමන ලෙස කියා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලක්ෂ 220 ජනතාවගේ ජීවිත විහිලුවට ගන්න එපා

දිට්වා නිසා විපතට පත් ජනතාව ගැන අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළත් රජයට උත්තර නැති බවත් ප්‍රශ්න අහන කොට ඇමතිවරු දන්නේ හිනා වෙන්න බවත් බොරු කියා ජනාධිපතිකමයි තුනෙන් දෙකයි පළාත් පාලන ආයතන බහුතරයයි ලබා ගෙන දැන් මේ රජය හිනා වෙන බවත් රජයට දැන් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැති බවත් ලක්ෂ 220 ජනතාවගේ ජන ජීවිත මේ රජය විහිලුවට බාර ගෙන ඇති බවත් දැන්වත් ටොම් පච නොකියන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙස මේ රජය සහ ජනාධිපති ඉතිහාස ගත වෙනවා | Lanka Newsweek