අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රතිසාධනය සහ දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම් ඒකාබද්ධ ජාතික ඔරොත්තු දීමේ රාමුවක් රටට අවශ්‍යයි

ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රතිසාධනය සහ දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම් ඒකාබද්ධ ජාතික ඔරොත්තු දීමේ රාමුවක් රටට අවශ්‍යයි

- විපක්ෂ නායක - ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාමය ආයතන, ආර්ථික ප්‍රතිසාධනය, දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම සහ සමාජ ආරක්ෂණය එකිනෙකින් වෙන් වූ ක්ෂේත්‍ර ලෙස නොසලකා ඒකාබද්ධ වූ ජාතික ඔරොත්තු දීමේ…

- විපක්ෂ නායක -

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාමය ආයතන, ආර්ථික ප්‍රතිසාධනය, දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම සහ සමාජ ආරක්ෂණය එකිනෙකින් වෙන් වූ ක්ෂේත්‍ර ලෙස නොසලකා ඒකාබද්ධ වූ ජාතික ඔරොත්තු දීමේ ප්‍රවේශයක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්ෂේ මහතා සමඟ අද පැවති සුවිශේෂ හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පෙන්වා දුන්නේ ය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණවලට පමණක් සීමා නොවී නීතියේ ආධිපත්‍යය, බලතල බෙදීම, ස්වාධීන ආයතන, පාර්ලිමේන්තු වගවීම, විනිවිදභාවය, මූලික අයිතිවාසිකම් සහ ජනතා සහභාගීත්වය මත තවදුරටත් ශක්තිමත් විය යුතු බව යි.

දැන්වීම

කවුරු බලයේ සිටියත් ස්වාධීන ආයතන ඒ අයුරින් ක්‍රියාත්මක විය යුතුයි

එසේ ම දේශපාලන බලය කුමන පාර්ශ්වයකට හිමි වුව ද ක්‍රියාත්මක විය හැකි ස්වාධීන හා ශක්තිමත් ආයතන රටට අවශ්‍ය බවත්, ව්‍යවස්ථා සංශෝධන දිගුකාලීන ආයතනික ආරක්ෂණ සහ බලතල තුලනය ශක්තිමත් කළ යුතු බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

පූර්ව ආපදා සූදානම් වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි

මෙම හමුවේ දී එල් නීනෝ සහ ලා නීනා තත්ත්වයන්ට ශ්‍රී ලංකාවේ සූදානම් වීම පිළිබඳව ද විශේෂ අවධානයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කරන ලදි. ආපදාවක් ඇති වූ පසු ප්‍රතිචාර දැක්වීම වෙනුවට, දේශගුණික අනාවැකි මත පදනම් ව පූර්ව සූදානම, පූර්ව ක්‍රියාමාර්ග සහ පූර්ව මූල්‍ය ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන පද්ධතියකට ශ්‍රී ලංකාව මාරු විය යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

එල් නීනෝ සහ ලා නීනා හුදෙක් කාලගුණික සංසිද්ධි නොවන බවත්, ඒවා කෘෂිකර්මාන්තය, ජල සුරක්ෂිතතාව, ආහාර මිල, ජීවනෝපාය, බලශක්තිය, සෞඛ්‍යය, දරිද්‍රතාව සහ රාජ්‍ය මූල්‍යය හරහා පුළුල් ආර්ථික හා සමාජ අවදානම් බවට පත්විය හැකි බවත් අවධාරණය කළේය.

පූර්ව ආපදා සූදානමට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ඒකාබද්ධ කළ යුතුයි

එමෙන් ම එක්සත් ජාතීන්ගේ ආයතන, ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන, විශේෂඥ ආයතන, විශ්වවිද්‍යාල, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය ඒකාබද්ධ කරමින් දේශගුණික පූර්ව අනතුරු ඇඟවීම් සහ පූර්ව ක්‍රියාමාර්ග සඳහා වූ ජාතික වැඩපිළිවෙළක් පිහිටුවීමේ හැකියාව සොයා බැලිය යුතු බව ද ඔහු මෙහිදී යෝජනා කළේය. දේශගුණික අවදානම්, එල් නීනෝ සහ ලා නීනා තත්ත්වයන් ඇතුළු ව, ජාතික ආර්ථික හා මූල්‍ය සැලසුම්කරණයට ඇතුළත් කළ යුතු බව ද මෙහිදී විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ආර්ථික ප්‍රතිසාධනය සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවලට පමණක් සීමා නොවිය යුතුයි

ආර්ථික ප්‍රතිසාධනය සාර්ව ආර්ථික ස්ථාවරත්වයට පමණක් සීමා නොවී, ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව, රැකියා, සැබෑ වැටුප්, ප්‍රාදේශීය සමානාත්මතාව, තරුණ අවස්ථා, කාන්තා ආර්ථික සහභාගීත්වය, ග්‍රාමීය ජීවනෝපාය සහ රාජ්‍ය සේවාවල ගුණාත්මකභාවය තුළින් ද මැනිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

“ශ්‍රී ලංකාව ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ ව වඩාත් පුළුල් ලෙස සිතා බැලිය යුතු යි. ආර්ථික, ප්‍රජාතන්ත්‍රවාදී, දේශගුණික සහ සමාජ ඔරොත්තුදීමේ හැකියා වෙන වෙන ම ප්‍රතිපත්ති ක්ෂේත්‍ර ලෙස සැලකිය නොහැකි යි. එක් පද්ධතියක ඇති වන කම්පනයක් ඉතා ඉක්මනින් අනෙකුත් පද්ධති වෙත ද පැතිර යා හැකි ය.”

එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සමස්ත රාජ්‍යය සහ සමස්ත සමාජයම සම්බන්ධ කර ගත් ඔරොත්තුදීමේ ප්‍රවේශයක්, ශක්තිමත් ආයතන, සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් සහ දේශගුණික හා ආපදා අවදානම් සඳහා සැබෑ පූර්ව ක්‍රියාමාර්ග පදනම් කරගත් පද්ධතියක් බව ද අවසාන වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න