ද්විපාර්ශ්වික සහයෝගිතාව - තිරසර සංවර්ධනය ශක්තිමත් කිරීම පිළිබඳව විපක්ෂ නායක සහ ජපාන තානාපති අතර සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන සබඳතා ව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ව සුහද සහ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ශ්‍රීමත් අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය.
ආර්ථික සංවර්ධනය, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන, පාරිසරික තිරසරභාවය, දේශගුණික විපර්යාසවලට හැඩගැසීම, ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණය මෙන් ම නීල ආර්ථිකයේ (Blue Economy) තිරසර සංවර්ධනය ඇතුළු දෙපාර්ශ්වයට ම වැදගත් වන ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතා ව වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳ ව මෙහි දී විශේෂයෙන් අවධානය යොමු විය.
දැන්වීම
ජපානයේ පෘථුල තාක්ෂණික හැකියා සහ පළපුරුද්ද උපයෝගී කරගනිමින් සුහුරු කෘෂිකර්මාන්තය, සාගර කර්මාන්ත, තිරසර ධීවර කර්මාන්තය, සාගර විද්‍යාව සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන සංවර්ධනය යන ක්ෂේත්රයන්හි වැඩිදුර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතාවන් සඳහා ඇති හැකියාව පිළිබඳබව මෙහි දී දෙපාර්ශ්වයේ ම විශේෂ අවධානයක් යොමු කෙරිණි.
දැනුම හුවමාරු කර ගැනීම, තාක්ෂණික නවෝත්පාදන, කුසලතා සංවර්ධනය සහ තිරසර ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ අදාළ කර්මාන්ත අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
ආපදා අවදානම් කළමනාකරණය, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ඔරොත්තු දෙන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ජපානය සතු සැලකිය යුතු පළපුරුද්ද හඳුනා ගනිමින්, ආපදා සූදානම සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ද දෙපාර්ශ්වයේ ම අවධානයට ලක් වූ ක්ෂේත්‍ර අතර විය.
එසේ ම ජපානය ශ්‍රී ලංකාව සමගින් පවත්වාගෙන යනු ලබන දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන වටිනා දායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැසසුමට ලක් විය.
ගොඩනඟා ගෙන ඇති ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම, ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ජනතාවගේ සුභසාධනයට හා සමෘද්ධියට දායක වන දීර්ඝකාලීන සංවර්ධන ප්‍රමුඛතාවන් සාක්ෂාත් කර ගැනීමේ වැදගත්කම මෙම අදහස් හුවමාරුවේ දී තවදුරටත් අවධාරණය විය.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින තිරසර මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ අඛණ්ඩ සංවාදයේ ඇති වැදගත්කම පිළිඹිබු කරන්නක් විය.