Pandora හෙළිදරව්ව හොරකම්වලින් සියයට දහයයි

ලෝක හොරුන් හොරකම් කළ වත්කම්වලින් 90%ක් ම හෙළි වෙලා නෑ නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් ළඟ ඇති බවට හෙළිදරව් වූ මුදල අපේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් වලින් 10 % ක පමණ මුදල් ප්‍රමාණයක් පමණක් බව 43…
ලෝක හොරුන් හොරකම් කළ වත්කම්වලින් 90%ක් ම හෙළි වෙලා නෑ
නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් ළඟ ඇති බවට හෙළිදරව් වූ මුදල අපේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් වලින් 10 % ක පමණ මුදල් ප්‍රමාණයක් පමණක් බව 43 සේනාංකයට අනුබද්ධ නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.
එම සංවිධානය වෙනුවෙන් සැප්තැම්බර් 05 දින මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ගෙවීමට ඩොලර් බිලියන 7 ක් පමණ අවශ්‍ය වන බවය.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පහළ ගොස් තිබේ. කිරිපිටි, ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ නැති වෙමින් යන්නේ රට සතු ඩොලර් හිඟය නිසා ය.“මේ ඩොලර් තියෙන්නේ කා ගාවද? තීරු නඩේෂන් ගාව. නිරූපමා රාජපක්ෂ ගාව. ඔය එළි වුනේ එක පොඩ්ඩයි. කීප දෙනෙක් විතරයි.
දැන්වීම
ඔය අපේ රටෙන් හොරකම් කරගෙන ගියපු මුදල් වලින් මම කියන්නේ ඒක 10% ක වගේ ප්‍රමාණයක්. හැබැයි ඉතුරු තව 90% ක් මේ වැනි ඩොලර් සංචිත ලංකාවෙන් කොල්ල කාගෙන ගියපු දේශපාලඥයන් විසින් හොර සල්ලි කළු සල්ලි හැටියට තැන්පත් කරලා තියෙනවා.”
සිංගප්පූරු නීතියට අනුව යම් විදිහකින් යම් පුද්ගලයෙක් අක් වෙරළ සමාගමක් සමග ගනුදෙනු කරද්දී ඒ පුද්ගලයා යම් රටක දේශපාලන පවුලකට සම්බන්ධ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට වාර්තා කිරීමේ වගකීමක් ඒ අක් වෙරළ සමාගමට තිබේ.
තිරු නඩේෂන් කියන මහතා ඇසට් නම් අක් වෙරළ සමාගම සමග ගනුදෙනු කොට ඇති නමුත් තිරු නඩේෂන් මහතා, රාජපක්ෂ පවුලත් සමග සම්බන්ධ බවට එකී අක් වෙරළ සමාගම දැන සිටි නමුත්, ඒ පිළිබඳව, සිංගප්පූරු රජයට වාර්තා කොට නොමැත. ඒ අනුව එය සිංගප්පූරු රජය ඉදිරියේ කරන ලද, නීතිය ඉදිරියේ කරන ලද වරදකි.
දෙවැනි කරුණ වන්නේ තිරු කුමාර නඩේෂන්ට විරුද්ධවම නීතිපතිවරයා විසින් අධිචෝදනා යොමු කරමින් වර්ෂ 2017 දී ගම්පහ අධිකරණයේ නඩුවක් පවරා තිබේ. ඒ අනුව චුදිතයෙක් හැටියට සිටින පුද්ගලයෙක් සමහ අක් වෙරළ සමාගමට ගනුදෙනු කළ නොහැක. නමුත් අදාළ ඒෂියා සිටි නම් සමාගම මේ සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට දැන්වීමක් සිදු කොට නොමැති අතර එය නීති විරෝධී කාර්යයකි.
“නිරූපමා රාජපක්ෂ මහත්මිය චලාම් ඔයිල් එන්ටර්ප්‍රයිසස් සහ රොසෙට්කි කියන ඉතාලිය අක්වෙරළ සමාගම් සමග ගනුදෙනු කරලා තියෙනවා. ඒ වගේම තිරු නඩේෂන් මහත්මයා අක් වෙරළ සමාගම් 21 ක් සමග ගනුදෙනු කරලා තියෙනවා.
දැන් මේ වෙබ් අඩවිය සඳහන් කරන විදිහට තව පුද්ගලයෝ දෙන්නෙක් මේ අක්වෙරළ සමාගම් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි තිරකුමාර් අයංකා නඩේෂන් අනිත් පුද්ගලයා සනාරා නිරන්ත රාජපක්ෂ නඩේෂන් එතකොට පුද්ගලයන් හතර දෙනෙක් මේ අක්වෙරළ සමාගම් 11 ක් එක්ක ඩොලර් මිලියන 160 ක ගනුදෙනුව කරලා තියෙනවා. මේක බරපතලයි. එතකොට මේ හතර දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන්.”
මේ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ වගකීමක් අල්ලස් හෝ දූෂණ කොමිසමට තිබේ. එමෙන්ම අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් වත්කම් ප්‍රකාශ කිරීමේ නඩුවක් නැතහොත් විමර්ශනයක් පවත්වන්නට අමතරව දූෂණ සිදුකිරීම පිළිබඳව සාක්ෂි විමර්ශනය කිරීම කළ යුතුය. ඩොලර් මිලියන 160ක් යනු විශාල මුදලකි. ඒ සියලු මුදල අයිති ශ්‍රී ලාංකික පුරවැසියන්ට ය. ඒ මුදල් වංචා කොට ඇත්නම් ඒ මුදල නැවත අප වෙත ලබා ගත යුතුය.
“අපි රජයට කියනවා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න. ඒ වගේම අපි රජයට කියනවා මේ පුද්ගලයන් වහාම ලංකාවේ පවතින නීතිය යටතේ අත්අඩංගුවට ගන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ සිදුවෙලා තියෙන වංචාකාරී ගනුදෙනු ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවෙලා තියෙන්නේ. ඔවුන් මුදල් විතරක් නෙවෙයි හොරකම් කරලා තියෙන්නේ. මේ වාර්තා වල තියෙන විදිහට ජාත්‍යන්තර වශයෙන් වටිනා කියන ශ්‍රී ලාංකික චිත්‍ර 31 ක් මේ ගනුදෙනුවල තියෙනවා.
ඔවුන් ස්විට්සර්ලන්තයේ චිත්‍ර සංරක්ෂිත තත්වයේ පවත්වාගෙන යා හැකි ගබඩාවක් තුළ තැන්පත් කරලා තියෙන්නේ. තිරුකුමාර නඩේෂන්ලගේ, ඔවුන්ගේ සහචරයොන්ගේ ගිණුම් ඇතුලේ මේ ඩොලර්, ඕන තරම් තියෙනවා.
අපිට ඩොලර් නැතුව, අපි කන්න බොන්න නැතුව, අද බංකොලොත් ජාතියක් බවට පත්වෙනවා. ඒ නිසා, නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය හැටියට, අපිට අවශ්‍යතාවයක් තියෙනවා වහාම මේ නීති ප්‍රතිසංස්කරණය කරන්න. විශේෂයෙන්ම වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ පනත, වහාම නීතිය ඉදිරියේ සංශෝධනයට ලක් විය යුතුයි.” යනුවෙන් ලක්තිලක මහතා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මෙසේ සඳහන් කළේය.
“ලංකා දේශපාලන ඉතිහාසයේ හොඳ හෙළිදරව්වක් වෙලා තිබෙනවා. මේ රටේ ජනයාගේ, මිනිසුන්ගේ, සල්ලි කොල්ල කාපු ආකාරයකින් හෙළිවෙමින් පවතිනවා. දැනට එක හෙළිදරව්වක් වෙලා තියෙනවා, දේශපාලන පවුල්වල සාමාජිකයන්ට, ඒ අනුව මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ කොල්ල කාලා තියෙන ධනයේ වටිනාකම මේ සමාජයට හිතාගන්න බෑ.
කෝටි 3200 ක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කොල්ල කාලා තිබෙනවා. ඒ නිසා දැන් මේ ආණ්ඩුවට යන එන මං නැති වෙන තත්වෙට උද්ගත වෙලා තියෙනවා.”
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු අතර, අල්ලස් කොමිසම ජනතාව වෙනුවෙන් වැඩ කරන ආයතනයක් නම් ඔවුන් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතු බව ද වන්නිනායක මහතා අවධාරණය කළේය.
“එහෙම නැත්නම් අපි විශ්වාස කරන්නෑ මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරයි කියලා. ඒ නිසා අපි උත්සාහ කරනවා තව අවුරුදු දෙකකින් මේ ආණ්ඩුව නියත වශයෙන් ගෙදර ගියාම පසුව නැවත එළඹෙන ආණ්ඩුවක් තුළ මේවා ප්‍රශ්න කරන්න.
ඒ නිසා තමුන්නාන්සේලා විශ්වාස කරන විදිහට මේ රටේ ධනය කොල්ල කාපු සියලු දෙනා මේ එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. විශාල චෞර වළල්ලක බද්ධ වෙලා තිබෙන මෙහෙ පරම්පරාවේ කොල්ලකරුවන් තව කොපමණ ප්‍රමාණයක් රටේ ධනය කොල්ල කා ඇද්ද යන්න අපිට ප්‍රශ්න කළ යුතුව තිබෙනවා.”
මේ රජය මෙය යට ගැසීමට කොතරම් උත්සාහ කළ ද මේ සිදුවීම මේ වන විට ලෝකය පුරා ගොස් අවසන් ය. ඒ අනුව දැන් මෙය වසා දැමීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැත.
“ඒ නිසා මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවෙනවා නම් ඉදිරි දේශපාලනය තව වසර දෙකකින් මේ කොල්ලකරුවන්ට දඬුවම් දෙන්න අපි නායකයෙක් හදන්න ඕනේ.
ඒ නායකයා මේ නිකන් නම් පචන් නායකයෙක් නෙමෙයි. මේ රටේ බුද්ධියක් තිබෙන ඥාන ශක්තියක් තිබෙන පුරුෂ ශක්තියක් තිබෙන නායකයෙක් අපි ගොඩනගන්න ඕන. ඒ නිසා ඒ සඳහා මේ වන විටත් සාකච්ඡා පවත්වනවා.”
මේ රටේ සමස්ත ජනතාව දැන් තේරුම් ගත යුතු කරුණක් තිබේ. එනම්, සම්ප්‍රදායික දේශපාලනඥයන්ට ඥාන මණ්ඩල දරිද්‍රතාවෙන් පෙළෙන නායකයන්ට මේ කාර්යය කිරීමට නොහැකි බවය.
ඒ අනුව නැවත මේ රටේ ඉතිහාසය වෙනස් කරමින් නැවත ඊළඟට පත්වන ආණ්ඩුවේ බුද්ධියෙන්, දැනුමෙන් සන්නද්ධ නායකයෙක් සහ කණ්ඩායමක් ගොඩනගන්න මේ රටේ සමස්ත ජනතාවම ඒකරාශී විය යුතුය යන්න තමන් විශ්වාස කරන බව ද හෙතෙම සඳහන් කළේය.
“සම්ප්‍රදායික දේශපාලනය තුළ පක්ෂ පාට නැත්තං තමන්ට ගැති භාවයෙන් කටයුතු කරන පුද්ගලයන්ට මේ සමාජයේ කොල්ලකරුවන්ට දඬුවම් දීමේ හැකියාවක් ඉතිහාසය විසින් ඔප්පු කරලත් නෑ.
අපි විශ්වාස කරනවා වර්තමානයද එවන් තත්වයක් කටයුතු නොකරයි කියලා. ඒ නිසා මේ රටේ සමස්ත ජනතාව දැන් තේරුම් අරන් තිබෙනවා. මේ රටේ මේ කොල්ලකරුවන්ට දඬුවම් දෙන්න. එවන් ඍජු නයකයෙක් සහ කණ්ඩායමක් බිහිවිය යුතුයි.”
එහෙයින් මේ රටේ සකලවිධ දේශපාලන බලයක් ඒකරාශී කොට ගනිමින් මේ අපරාධකරුවන්ට දඬුවම් දීමේ වගකීම මේ රටේ සමාජයේ දෙවුර මත තිබෙන බව ද නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අවධාරණය කළේය.
නිරූපමා රාජපක්ෂ මහත්මියට එල්ල වී ඇති පැන්ඩෝරා චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින රාජපක්ෂ රෙජිමයේ කිසිම සාමාජිකයෙක් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කොට නොමැති බව මේ මාධ්‍ය හමුවට එක් වූ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේය.
“රටට ඩොලර් නෑ. කිරිපිටි ටික ගේන්න විදිහක් නෑ. කිරිපිටි නැතුව පෝලිම් වල ජනතාව රස්තියාදු වෙනවා. හඩා වැටෙනවා තමන්ගේ දරුවන්ට කිරි ටිකක් දෙන්න විදිහක් නෑ කියලා. ඒ වගේම ගෙවල් වල උයන්න පිහන්න අවශ්‍ය කරන ගෑස් ටික නෑ. තෙල් ටික ගේන්න සල්ලි නෑ. ඒ වගේම තමයි ගෑස් ටික ගේන්න සල්ලි නෑ.
අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න සල්ලි නෑ. ආනයන සීමා කරලා තියෙනවා, තහනම් කරලා තියෙනවා වාහන ගේන එක නතර කරලා තියෙනවා. එහෙනම් අපි අහන්නේ මේ ඩොලර් මිලියන 160 ක් මෙතන තියෙනවා.”
“නිරූපමා රාජපක්ෂ ලංකාවේ ඇතුලේ කරපු එක ව්‍යාපාරයක් තියෙනවනම් කියන්න. මොනවද කරපු ව්‍යාපාර? මොකක් හරි නිෂ්පාදනයක් මේ රට ඇතුලේ කරලා තියෙනවද? සිල්ලර කඩයක් කරගෙන ගිහිල්ලා තියෙනවද?
එහෙම නැත්නම් මොනවා හරි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට, ජාතික ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබාදෙන දෙයක් කරලා තියෙනවද? එහෙනම් කොහොමද මේ මුදල් උපයා ගත්තේ? ඒකයි අද තියෙන ප්‍රශ්නේ. මේ මුදල් කොහොමද උපයාගත්තේ කියන එක අද කියන්න ඕනේ මේ රටට.
“මෙන්න මේ ආකාරයට මේ රටේ සාරය උරා බීලා, මේ රටේ ජාතික ධනය කොල්ල කාලා අයුතු විදියට මුදල් උපයගෙන මේවා ගෙනිහිල්ලා පිටරටවල් වල විවිධ තැන්වල තැන්පත් කරලා තියෙනවා.
ලෝකයේ පිළිනොගත් ඇතැම් රාජ්‍යයන් ඇතුලේ එහෙම නැත්නම් මේ රහස්‍යභාවය රකිනවාය කියන විවිධ රාජ්‍යයන් අර්ධ රාජ්‍යයන් ඇතුළේ මේ විදිහට මේ මුදල් තැන්පත් කරලා පවත්වාගෙන යනවා. මේ මුදල් වලින් කොටසක් රට ඇතුලට ගන්න පුළුවන් නම් දැන් පහුගිය දවස් වල ඔය මුදල් විශුද්ධිකරණයට අදාළව ගෙනාවා පනතක්.
“මෙවැනි හෙළිදරව් කිරීම් පසුගිය කාලේ මේ රටේ ඉන්න බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, දූෂණ විරෝධී සංවිධාන කිව්වම ඒ සියල්ල නොසලකා හැරියා. එහෙම නැත්නම් ඒවට හිනා වුණා. ඒවා හෑල්ලුවට ලක් කරා. ඒවා පට්ටපල් බොරු කියලා කිව්වා. දැන් මේක හෙළිදරව් කරලා තියෙනවා.
ඒ නිසා අපි කියනවා පුලුවන්නම් වහාම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කියන්න. අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ස්ථාවරය කියන්න ඒ වගේම අපි කියනවා මුදල් ඇමතිතුමා අර විශ්වකර්මයා කියලා කිව්වේ මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්, මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් වැඩ කරපු විදියට කිව්වේ මොළ හතක් තියෙනවයි කිව්වේ අන්න ඒ බැසිල් රාජපක්ෂට අපි කියනවා මේ සම්බන්ධයෙන් කරුණාකරලා තමන්ගේ ස්ථාවරය ඇවිල්ලා කියන්න.
තමන්ගේ මේ ඥාති නැන්දණීය ගේ මේ ගනුදෙනුව පිළිබඳව අපේ තරුණ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැන් මොකද කියන්නේ? මේකත් බොරුද? මේ ජාත්‍යන්තර පර්යේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සම්මේලනය කරලා තියෙන මේ හෙළිදරව්වක් තව බොරුවක්. අද මුළු ලෝකයම මේ ගැන සාකච්ඡා වෙනවා.
ඒක නිසා ලංකාව චෞර වළල්ලකට හසු වෙච්ච චෞරයන්ගේ රාජ්‍යයක් කියන එක ජාත්‍යන්තර වශයෙන් තහවුරු වෙමින් තියෙනවා. අනාගතයේදී මේ රටේ ජාතික ධනය කොල්ලකාපු හොරාකාපු මේ සහගහන අපරාධ කරපු මේ සියලු දෙනාට එරෙහිව අනාගතයේදී ජනතා අධිකරණයක් ඉදිරියේ මේ සියලු දෙනාම වගඋත්තරකරුවෝ බවට පත්වෙනවා” වර්ණසිංහ මහතා තවදුරටත් අවධාරණය කළේය.