අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Online පනතට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි

Online පනතට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි

රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ජනමාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන,…

රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

ජනමාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කරන කණ්ඩායම් සහ වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් ද මේ පනතට සිය දැඩි විරෝධය පළ කර සිටින බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා තමා එම කණ්ඩායම් සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවේ දී ඒ අය එම විරෝධය පළ කර සිටී බව ද සඳහන් කළේය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයේදී රජය විසින් සම්මත කිරීමට උත්සාහ දරන මාර්ගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කොටුම්පත සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු සංවිධාන රැසක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

දැන්වීම

රටේ දරුවන්ගේ, මව්වරුන්ගේ, සාමාන්‍ය ජනතාවගේ, අවදානමනට ලක්වූ කොට්ඨාසවල අයිතීන් සුරක්ෂා කරනවා යන නාමයෙන් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි අණ පනත් ඉදිරිපත් කර රජය ඒකාධිපතීත්වයක් රට තුළ ස්ථාපිත කර භාෂණයේ, සාකච්ඡා කිරීමේ, විවාද කිරීමේ හා තොරතුරු දැන ගැනීමේ නිදහස ඇතුළු මානව අයිතීන් මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන දරදඩු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට ප්‍රවේශ වන බව විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනාධිපතිවරයා රටටත් ලොවටත් පෙන්වා ඇත්තේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයකු ලෙස වුවත් මෙම පනත ක්‍රියාත්මක කිරීම හරහා ඔහු මවාගත් ස්වරූපය බොරුවක් බවට ඔප්පු වන බවත් මේ පනත හරහා ඔහුටත් ඔහු පත් කරන කොමිසමේ සාමාජිකයන්ටත්, ඔහු පත් කරන ආරක්ෂක අංශවලටත් රිසිසේ මේ රටේ පොදුජනතාව අසහනයට පීඩනයට ලක් කළ හැකි බවත් ‘කතා කළොත් සිරගෙදර’ හිමිවන බවට බිය ගන්වා ජනතාවගේ කටවල් වහන වැඩපිළිවෙළකට ජනාධිපතිවරයා යොමුවී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම ජනාධිපතිවරයා සැබෑම ප්‍රජාතන්ත්‍රවාදියකු නම් මෙම දුර්ජන පනත ඉල්ලා අස් කර ගෙන පාර්ශ්වකරුවන් සියලු දෙනා සමඟ ප්‍රබුද්ධ ප්‍රශස්ත සාකච්ඡාවකට යොමුවන ලෙසත් රටේ සමාජ මාධ්‍ය වැඩපිළිවෙළ අතුරුදන් කරන තත්ත්වයකට කටයුතු නොකරන ලෙසත් පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළකට ප්‍රවේශ වීම යෝග්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තවද ප්‍රජාතන්ත්‍රවාදය අගයන විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය ජනතා වරමින් බලයට පත්වූ විගසම අත්තනෝමතිකව සම්මත කර ගත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී අණ පනත් සියල්ල අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවත් එතෙක් මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස තානාපතිවරුන්ගෙන්ද ඉල්ලා සිටින බවත් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත් පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
Online පනතට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි | Lanka Newsweek