“MTD WALKERS”රාජ්‍ය බැංකුවලින් කෝටි 5000ක ණය කාලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

මැලේසියානු විගණනයකින් හෙළි වෙයි..! ප්‍රධාන විධායක-ගණකාධිකාරී ඉල්ලා අස් වෙයි..! රාජ්‍ය බැංකු අනතුරේ..! (සුමුදු පෙරේරා) මහ ජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති “MTD…
මැලේසියානු විගණනයකින් හෙළි වෙයි..!
ප්‍රධාන විධායක-ගණකාධිකාරී ඉල්ලා අස් වෙයි..!
රාජ්‍ය බැංකු අනතුරේ..!
(සුමුදු පෙරේරා)
මහ ජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති “MTD WALKERS PLC” සමාගම සමබන්ධයෙන් එම සමාගමේ මව් සමගම වන මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගම විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ.
“CML-MTD CONSTRUCTIONS” සමාගම මේ විශේෂ විගණනය ආරම්භ කර ඇත්තේ එවැනි අති විශාල මුදලක් එම සමගම මහ ජන බැංකුවෙන් ලබා ගැනීමේ සිද්ධිය රටේ ආන්දෝලනයට ලක්ව තිබීම සහ “MTD WALKERS PLC” සමාගමේ බලධාරීන් සිදු කර ඇතැයි කියන දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට අදාළවය.
“MTD WALKERS PLC” සමාගම මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිට මේ දක්වා වූ කාලය ඇතුළතදී මහ ජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලින් රුපියල් කෝටි 5000 ඉක්මවූ අති විශාල මුදලක් ණයට ලබා ගෙන ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.
“MTD WALKERS PLC” සමාගමේ බලධාරීන් විවිධ පුද්ගලයින්ට කාලයක් මුළුල්ලේ රුපියල්ලක්ෂ ගණනින් මුදල් ගෙවා එම ගෙවීම් කොමිස් මුදල් ලෙස ගිණුම් ගත කර ඇති බව එම විගණනය මගින් දැනට හෙළිදරව් වී තිබේ.
එම මුදල් කිනම් පදනමක් යටතේ කුමන හේතුවක් නිසා කිනම් පුද්ගලයින්ට ලබා දුනේ දැයි මැලේසියානු බලධාරීහූ “MTD WALKERS PLC” සමාගමේ දේශීය බලධාරීන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිති.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ “MTD WALKERS PLC” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ගණකාධිකාරීවරයා මේ වන විට සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
මේ සිද්ධිය හේතුවෙන් මහ ජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු අභ්‍යන්තරයේ උද්ගත විය හැකි උග්‍ර අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද විශේෂ අවධානය යොමු වී තිබේ.
“MTD WALKERS PLC” සමාගමේ විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන්නේ මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ද වන ජෙහාන් අමරතුංග මහතා වන අතර ඔහු සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා ද වෙයි.
සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද “MTD WALKERS PLC” සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකි.
“MTD WALKERS PLC” සමාගම මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගෙන තිබෙන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ බලය පාවිච්චි කරමින් වන අතර යහ පාලන රජය යටතේ එම සමාගම මේ තරම් අති විශාල මුදල් සම්භාරයක් කිසිදු අපසුවකින් තොරව ණයට ගනිමින් සිටින්නේ මලික් සමරවික්‍රම මහතාගේ දේශපාලන හයියෙනි.
මහ ජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු බැංකු බලධාරීන් ද,මහ බැංකු නිලධාරීන් වගේම ආර්ථික සහ මුල්‍ය විශේෂඥයින් ද කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් කරනු විමසමින් සිදු කර ඇති සාකච්ඡාවකදී මේ තරම් අති විශාල ණය මුදලක් මෙසේ නිකුත් කිරීම සඳහා පසුබිම් වූ බලපෑම් සහ මේ ක්‍රියාදාමයට අදාළව මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳව ද දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.
මලික් සමරවික්‍රම මහතා ද ප්‍රධාන කොටස්කරුවකු වන “MTD WALKERS PLC” යනු මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ඇතුළු රට පුරා මහ මාර්ග සහ අනෙකුත් ඉදිකිරීම් කොන්ත්‍රාත් ගණනාවක් ලබා ගෙන සිටින මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමේ ප්‍රධානතම දේශීය කොටස්කරුය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
