IMF තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදා ගැනීම ජාතික වගකීමකි

අල්ලස-දූෂණය-වංචාව පිටු දකිනු "අපනයනය කරනු නැති නම් වැනසෙනු" ඉපැරණි වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළ යුතුයි නවීන කෘෂිකර්මයක් ඕනෑ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් තෙවැනි වාරික මුදල රට-ජනතාව වෙනුවෙන්…
අල්ලස-දූෂණය-වංචාව පිටු දකිනු
"අපනයනය කරනු නැති නම් වැනසෙනු"
ඉපැරණි වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළ යුතුයි
නවීන කෘෂිකර්මයක් ඕනෑ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දුන් තෙවැනි වාරික මුදල රට-ජනතාව වෙනුවෙන් ඵලදායක ලෙස යොදා ගැනීම ජාතික වගකීමක්, යුතුකමක් සහ කාර්ය භාරයක් වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කරන වැඩ සටහනට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් තෙවැනි වාරිකය ද නිකුත් කර තිබීම රටේ යහපතට අදාළව සැළකීමේ දී ඉතාමත්ම වැදගත් වන බව අපගේ විශ්වාසයයි. එමෙන් ම එකී මුදල රටේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීම ජාතික වගකීමක් ලෙස සලකන්නෙමු. ආර්ථික වශයෙන් රට බලවත් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති කාල වකවානුවක මේ රටේ ජනතාව සිදු කරන ලද දැවැන්ත කැප කිරීම සැළකීමේ දී රටට ලැබෙන සෑම සතයක් ම වගකීම් සහගත සහ ඵලදායක අන්දමට යොදා ගැනීම අත්‍යාවශ්‍ය වී තිබේ.
මෙහිදී වහා සිදු විය යුතු කරුණු කිහිපයක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. පළමු සහ හදිසිම අවශ්‍යතාවය වනුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දිගින් දිගටම පෙන්වා දුන් නාස්තිය සහ දූෂණය වහා නතර කිරීමට පියවර ගැනීමයි.
දැන්වීම
එමෙන් ම දශක හතක කාලයක් තිස්සේ අතපසු කරමින් සිටින 15,000ක් පමණ වන සියලුම ඉපැරණි වැව් ප්‍රතිසංස්කරණය කර නවීන කෘෂිකර්ම ක්‍රමවේද උපයෝගී කර ගනිමින් වර්තමානයට ගැලපෙන ආකාරයට සකස් කිරීම වැදගත් වේ. මේ සඳහා විවිධ අන්තර්ජාතික අරමුදල්වලින්, මිත්‍ර රටවලින්, පෞද්ගලික අංශයෙන් සහ යුද හමුදාවේ ශක්තියෙන් ද සහය ලබා ගත හැකි බව අපි විශ්වාස කරන්නෙමු. මේ ඔස්සේ විප්ලවීය වෙනසක් සිදු කළ හැකිය.
අනෙකුත් ප්‍රධාන කාර්ය වනුයේ අපනයන ක්ෂේත්‍රය වහා වේගවත් මාර්ගයකට යොමු කිරීමයි. 1990 දශකයේ දී "Export or Perish" නොඑසේ නම් "අපනයනය කරනු නැති නම් වැනසෙනු" යන තේමාව යටතේ විශාල වැඩ සටහනක් දියත් වූ අතර විදේශීය ගැණුම්කරුවන් 5,600ක් සහභාගී වූ “Expo 92” නමින් අති සාර්ථක අන්තර්ජාතික වෙළද ප්‍රදර්ශනයක් සහ ඒ් යටතේ අපනයන ගම්මාන (Export Villages) සංකල්පය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි.
මේ හේතුවෙන් තෝරා ගත් ගම්මාන කිහිපයක ජනතාව ඉහළ ආදායම් ලබා ගත් අතර වර්තමාන තත්ත්වය සැලකීමේ දී මේ වන විට සාර්ථකව පවත්වා ගෙන යමින් සිටින සුපිරි වෙළඳසැල් ජාලවල ද සහයෝගය ලබා ගනිමින් විශේෂිත අපනයන ගම්මාන ඇති කර ගත හැකිය.
එමෙන් ම මෙහිදී අපනයන සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය සම්පත් සහ බලතල ලබාදී ඔවුන් ශක්තිමත් කළ යුතුය. තාක්ෂණය දියුණු වූ කාලයක ප්‍රදර්ශන අවශ්‍ය නොවුණත් ශ්‍රී ලංකාව අපනයන කටයුතු සීඝ්‍ර ලෙස ඉහළ යන රටක් වශයෙන් ප්‍රචාරය කළ හැකිය.
මේ සමගම කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ද ගොඩනැගීම වැදගත් වේ. එහිදී සහන පොලියට මුදල් ලබා දීමත් බිම් මට්ටමේ පහසුකම් සැපයීමත් අත්‍යවශ්‍ය වේ. ඉන්දියාවේ මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයා විසින් IT/ BPO සංකල්පය දියුණු කිරීම හරහා ඉන්දියාවේ තරුණ ප්‍රජාවට නව මඟක් සකස් වූ ආකාරය එහිදි සිහිපත් කිරීම වැදගත්ය. මේ සංකල්පය ශ්‍රී ලංකාවේ පහසුවෙන් ප්‍රචලිත කළ හැකිය.
රට-ජනතාව වෙනුවෙන් මේ කරුණු කාරණා පිළිබඳව වග කිව යුත්තන් සිය අවධානය යොමු කර ක්‍රියා කරනු ඇතැයි යන්න සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපේක්ෂාව වේ.