අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

22 වැනි සංශෝධනයෙන් අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් වෙනවා

22 වැනි සංශෝධනයෙන් අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් වෙනවා

- විපක්ෂ නායක - ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ මේ රජය නැති කර 22 වැනි සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර විධායකයේ බලතල තර කර ගරු අධිකරණය ජනාධිපතිවරයාගේ වහල්භාවයට ලක් කරන්න උත්සාහ කරන…

- විපක්ෂ නායක -

ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ මේ රජය නැති කර 22 වැනි සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර විධායකයේ බලතල තර කර ගරු අධිකරණය ජනාධිපතිවරයාගේ වහල්භාවයට ලක් කරන්න උත්සාහ කරන බවත් මෙය ලක්ෂ 220කගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බරපතල අභියෝග රැසක් එල්ල කරනවා සේම භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස තමන් විශ්වාස කරන දර්ශනයක් පිළිගැනීම ආදිය නැති කර ජවිපේ ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කකයේ ලග්ගල ආසනේ නාඋල, සමගි වනිතා බලවේගයේ කාන්තා බලමණ්ඩලය පිහිටවීමේ රැස්වීම අමතමිනි.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායකය අධිකරණයට බලපෑම් කරනවා කියා විදේශ ආයෝජකයන් සිතුවොත් රටට එන්න ඇති ආයෝජන පවා නැති වන බවත් මේ වන විටත් රජයට මහා පරිමාණ ආයෝජකයන් රටට ගෙන එන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

නැවතත් රජය ටොම් පච රැස්වීම් මාලාවක් පවත්වනවා

මැතිවරණ සමයේ රැස්වීම් ගණනාවක් පවත්වා ජනතාවට ටොම් පච පොරොන්දු දී දැන් වසර 2ක් සැමරීම තුළ මේ ටොම් පච ආණ්ඩුව තවත් රැස්වීම් මාලාවක් පවත්වා මේ ටොම් පච තහවුරු කරමින් යන බවත් මේ මර්ධනකාරී භීෂණකාරී මනුෂත්වය නොදන්න මෘග රජය පරාජය කළ යුතු බවත් ගොවියා ධීවරයා සේම ලක්ෂ 220 ජනතාව සුරකින ආණ්ඩුවක් ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා පච වට්ටෝරුවක් ඉදිරිපත් කළා

මේ වන විට රටේ ජනතාව අභියෝග රැසකට මුහුණ දෙන බවත් රටේ ලක්ෂ 220න් බහුතරයක් බරපතල ආර්ථික අපහසුතා මැද අමාරුවෙන් ජීවත් වෙන බවත් නිසි පෝෂණය, අධ්‍යාපනය ශක්තිය ලබා දෙන්න නොහැකව දෙමාපියන් අසරණ වී ඇති බවත් මෙයට ප්‍රධානම හේතුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කියා පච වට්ටෝරුවක් ජනතාවට ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කරන්න නොහැකිව නොහැකියාවෙන් පෙළෙන ඒකාධිපති ආණ්ඩුවක් ක්‍රියාත්මක වන නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ බොරු නිසා ජනතාව අනාථයි

ජනතාවගේ අපේක්ෂාව කාටවත් වහල් නොවී යටත් නොවී ස්වෝත්සාහයෙන් ජීවත් විය හැකි ජන ජිවිතයක් ගත කිරීම බවත් ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගෙන යහපත් ජන ජීවිතයක් තුළ ජන ජීවිතයේ ප්‍රගතිය ලබන යුගයක් නිර්මාණය විය යුතු වුවත් වත්මන් රජයේ බොරු කියන කණ්ඩායමේ පච වට්ටොරුවට රැවටී රටේම ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ක්‍රමයේ වෙනසට ගැසූ කතිරයට වටිනාකමක් නෑ

කෙත්වතු සරුසාර කරන, කර්මාන්තශාලා බිහිවන යුගය අවසන් වී කර්මාන්තශාලා රට අතහැර යුගයක් අද නිර්මාණය වී ඇති බවත් එයට හේතුව යහපත් ප්‍රගතිශීලී රාජ්‍ය පාලනයක් නොමැති වීම බවත් පැහැදිලි චින්තයක් තුළ ඉදිරියට යන රාජ්‍ය පාලනයක් රටේ නොමැති බවත් බොරු කියා ජනතාව රවටා මංමුලා කර මේ වන විට සමස්ත ජනතාව අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන බවත් ක්‍රමයේ වෙනසකට කතිරය ගසා දැන් ක්‍රමයේ වෙනසක් නොමැති බවත් පැවති වැඩපිළිවෙළ පවා විනාශ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව හදන්නේ ඒක පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න

අද වන විට රජය තනි අරමුණක් තුළ ඉදිරියට යමින් ඒකාධිපතිවාදයක් රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන බවත් හිට්ලර් වැනි තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්න භීෂණය බය ගැන්වීම අපරාධ ජනතාව චකිතයට පත් කර අවිනාශ්චිතතාව තුළ තම පක්ෂයට පමණක් සියලු දේ කරන්න පුළුවන් සියලු දේ අයිතියි කියන ඒක පක්ෂ පාලනයක් කරා මේ රජය ගමන් කරන බවත් මේ රජය ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසදුම් උත්තර ලබා දෙන්න නොහැකිව කෘර අමානුෂික දේශපාලනයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුන් පොරොන්දු කිසිවක් ඉටු වී නෑ

රජයට ප්‍රශ්න විසදන්න නොහැකි වී ඇති බවත් පොරොන්දු වූ ලක්ෂ 12 විට්ස් කාර් එක නොමැති බවත් 33%කින් විදුලි බිල අඩු නොවූ බවත් අදටත් වරායේ ගොඩබාන මිලට තෙල් නොමැති බවත් අස්වැසුම පවා අද කප්පාදුවන බවත් ජනතාවට ලැබෙන්න ඇති සහනාධාර පවා කප්පාදු වන බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී රජය රු. 17315කින් එක් අයකුට දින 30ක් ජිවත් වෙන්න හැකි  බවට රජය පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න