22 සම්මත කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්

අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතු කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කර ගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය…
අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතු කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කර ගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ සදහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේම ඒ උදෙසා අඛණ්ඩව නොසැලී පෙනී සිටි සිවිල් සහ දේශපාලන බලවේගයන් වෙත සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්තුතිය පුද කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දැන්වීම
"හිටපු ජනාධිපතිවරයාගේ අභිලාශයයන් ඉටු කරනු පිණිස 20 වැනි සංශෝධනය ගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේදී මෙන්ම එය සම්මත කර ගැනීමෙන් පසුව ද ඊට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි සංවිධානයක් වශයෙන් මෙම අවස්ථාවේදී අපි නැවතත් අවධාරණය කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් ජනතාවගේ ගරුත්වය හා අපේක්ෂා තහවුරු කරනු පිණිස 22 වැනි සංශෝධනය ප්‍රමාණවත් හා අවසන් තීරණාත්මක පියවර ලෙස විශ්වාස නොකරන බවය. අද දවසේ පාර්ලිමේන්තුව ගත් මෙම තීන්දුව අප සලකන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් තහවුරු කර ගතයුතුව තිබූ ඉතා වැදගත් අන්තර්කාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවක් ලෙසය. මෙය සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස අප සලකන්නේ ඒ අනුවය.
ජාතික ඒකාග්‍රතාවය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක් පුරවැසියන් ලෙස අප සියල්ලන් වෙතම පැවරී තිබේ. අද දවසේ ලත් මෙම ජයග්‍රහණය ශක්තියක් බවට යොදා ගනිමින් ඒ සදහා පෙරමුණ ගන්නා ලෙස මේ රටේ සියළුම දේශපාලන බලවේගයන් වෙතින් මේ මොහොතේ අපි ඉල්ලා සිටින්නෙමු.
ඒකාධිපති පාලනයකට රට යොමු කරන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, මහා පරිමාණ දූෂණ රටින් බැහැර කිරීමටත්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදීත් පෙරමුණු ගනු ඇත.