22 ඒකමතිකව සම්මත කිරීම සියලු මන්ත්‍රීන්ගේ වගකීමක්

22 වැනි සංශෝධනය රටේ අනාගතය වෙනුවෙනුයි ජනපතිගේ ඉදිරිගාමී පියවරක් 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් වන හෙයින් එම සංශෝධනය ඒකමතිකව සම්මත කර ගැනීමට කටයුතු…
22 වැනි සංශෝධනය රටේ අනාගතය වෙනුවෙනුයි
ජනපතිගේ ඉදිරිගාමී පියවරක්
22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් වන හෙයින් එම සංශෝධනය ඒකමතිකව සම්මත කර ගැනීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමක් යැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායයන් බරපතල විකෘතියකට ලක්කරමින් ඒකාධිපති රාජ්‍ය පාලනයකට මග විවර කරගෙන තිබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල රහිත කරමින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අප අතිශයින්ම අගය කරන්නෙමු. එය අප සලකන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යථාවත් කිරීම උදෙසා ගෙනඇති සාධනීය ක්‍රියාමාර්ගයක් ලෙසටය.
එමෙන්ම මෙයට පෙර අවස්ථාවකදී කෙටුම්පත් කර තිබු ආකාරයට විධායක ජනාධිපති ධුරයේ තීරණාත්මක බලතල ගනණාවක් හිටපු ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ තවදුරටත් පවත්වා ගැනීමට ගනු ලැබූ උත්සහයන් පසෙකලමින් ලබන මස 6 වනදා සිටම ඒවා ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක්වනු නොඅනුමානය. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටිම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපගේ ස්තූතිය ගරු ජනාධිපතිතුමාටත්, අධිකරණ ආමාත්‍යතුමාටත්, රජයටත්, පළකරන්නෙමු.
දැන්වීම
22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සැප්තැම්බර් මස 06 වනදින පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නා අවස්ථාවේදී මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවාදී ලෙස පෙනී සිටිනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවය. එමෙන්ම අදාළ විවාදයෙන් පසු එය ඒකමතිකව සම්මත කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
මේ රටේ ජනතා නියෝජිතයන්ගේ ප්‍රමුඛතම වගකීම වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජන ජීවිතයේ යහපත උදෙසා ක්‍රියාකරමින් අනාගත පරපුරට සතුටින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කරගැනීමය. එම වගකීම ඉටුකිරීමට නම් අත්‍යාවශයෙන්ම සිදුකළ යුතුව ඇති දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අප අපගේ අවධානය යොමුකළ යුතුව තිබේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය රජය විසින් සම්මත කරගන්නා අවස්ථාවේ සිට ඊට එරෙහිවත් එය ඉවත්කරගැනීම සඳහා නිරත්තර අරගලයක යෙදෙන්නටත් අපට සිදුවූයේ එනිසා ය. එමෙන්ම රටේ යහපත උදෙසා සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු සමාජ, දේශපාලන පරිවර්තනයන් උදෙසා අප තව දුරටත් පෙනී සිටින්නේත් එබැවිනි.
ඒ සමඟම අප විසින් අවධාරණය කරන අනෙක් වැදගත්ම කරුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේත් ශිෂ්ඨ සම්පන්න ලෝක ප්‍රජාවගේත් ගෞරවයට හා පැසසුමට ලක්වන 22 වැනි සංශෝධනය වැනි යහපත් දේශපාලන වෙනසකට රජය ක්‍රියාකරමින් සිටියද හදිසි නීති බලතල උපයෝගී කරගනිමින් සිදු කරන ඇතැම් ක්‍රියාමාර්ග පිළිබදව අප කිසිසේත්ම එකග නොවන බවය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහත් කැපකිරීමක් සිදුකළ සාමකාමී අරගලයේ ක්‍රියාධරයන් හා වෘත්තීය සමිති නායකත්වයන්ට හිරිහැර සිදුකිරීම කුමන තත්වයක් යටතේ හෝ අප අනුමත නොකරන්නෙමු.
ඒ පිළිබදව අප තුළ ඇත්තේ බලවත් කනස්සල්ලකි. එමෙන්ම පුද්ගල පැහැරගැනීම් ලෙස සැලකිය හැකි සිදුවීම් පිළිබදව පලවන වාර්තා ගැන ද අප බලවත් ලෙස කනස්සල්ලට පත්ව සිටින්නෙමු. ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් සැලකීමේදී එවැනි සිදුවීම් මගින් රටට ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල බොහෝ සේ වියහැකිය. මෙම කරුණු පිළිබදව ද ගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමුවිය යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.