21 ප්‍රමාද වුණොත් ජනතාව යළි කුපිත වේවි

අගමැතිත් හාස්‍යට ලක් වේවි ජාත්‍යන්තරය හමුවේ රට තව තවත් හුදෙකලා වනු නියතයි කරූ සේම අනතුරු අඟවයි විවිධ හේතු දක්වමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත්…
අගමැතිත් හාස්‍යට ලක් වේවි
ජාත්‍යන්තරය හමුවේ රට තව තවත් හුදෙකලා වනු නියතයි
කරූ සේම අනතුරු අඟවයි

විවිධ හේතු දක්වමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට සම්මත කර ගැනීම ප්‍රමාද හොත් ඊට එරෙහිව රටේ නැවත උග්‍ර ජන අරගලයක් ඇති වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අනතුරු අඟවා සිටියි.
එම නිසා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් ව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇතුළත් කර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා සම්මත කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ක්‍රියා කළ යුතු යැයි ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.
දැන්වීම
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී අඟහරුවාදා (24) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අද රටම කතා කරනවා. 2022.05.23 වැනිදා එනම් සඳුදා (23) වන විට 20 වැනි සංශෝධනය අහෝසි කර නැවත 19 සංශෝධනය බල ගන්වා ශීලාචාර ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ලෝක ප්‍රජාවගේ ගෞරවය සහ පිළිගැනීම උපයා ගැනීමටත්, බලවත් රටවල්වල විශ්වාසය දිනා ගෙන ආධාර උපකාර ලබා ගැනීමටත්, හැකි වේවි යැයි අපට බලවත් විශ්වාසයක් තිබුණා.
කරුණු මෙසේ තිබියදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් පාර්ශවයක් මෙම සංශෝධනවලට එකඟ නොවන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබීම ඉතා කණගාටුවට කරුණක් වනවා. එමෙන්ම එම තත්ත්වය බල ලෝභී දේශපාලන තීරණයක් ලෙස හැඳින්විය හැකියි.
20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටට වූ හානිය ගැන කිව යුතු නැහැ. එම ව්‍යවස්ථා සංශෝධනය ලෝකයා හැඳින් වූයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පාලනයකට රට යොමු කරන ආත්මාර්ථකාමී සහ මිලේච්ඡ පනතක් ලෙසයි. යුරෝපියානු පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්ද 600කට වඩා ලබා දෙමින් මේ ව්‍යවස්ථා සංශෝධනය අශිෂ්ට පනතක්ය යන පණිවිඩයක් ජාත්‍යන්තරය අපට ලබා දුන්නා. මේ තත්ත්වය රජයේ බලවතුන්ට නොතේරීම රටේ අවාසනාවක් වනවා.
ජනාධිපතිවරයා රජයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ආරම්භ කිරීමට පෙර ලොවට හඬ නගා කියා සිටියේ එතුමා 19 වැනි සංශෝධනය බල ගැන්වීමට සහ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට එකඟ වන අතර ඒ අනුව තාවකාලික සර්ව පාක්ෂික රජයක් ඇති කිරීමට එක් වන ලෙසත් පක්ෂ නායකයන්ට ආයාචනා කරන බවයි.
යම් හෙයකින් ආණ්ඩු පාර්ශවයේ බලපෑමෙන් මෙම සංශෝධනය ගෙන ඒම ප්‍රමාද කළ හොත්, එම ක්‍රියාව විශාල මහජන විරෝධයකට හේතු වන බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. එතුමා දෙන පොරොන්දු අතීතයේ සේම හිස් වචන කිහිපයක් බවට ජනතාව හැඳින් වීම නොවැළැක්විය හැකියි. ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ද මේ හේතුවෙන් විනාශ වන බව එතුමා වටහා ගත යුතුයි.
මේ ගැන රටට සුබවාදීව කරුණු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ නව වැඩ පිළිවෙළට සහාය දෙමින් එක් වුණු අනෙක් මැති ඇමතිවරුන්ද එම ක්‍රියාව හේතුවෙන් ලැජ්ජාවට පත් වනු නොඅනුමානයි. මේ සියල්ලට වඩා රජය වටහා ගත යුත්තේ අන්තර් ජාතික ප්‍රජාව මේ සිදුවීම දකින ආකල්පයන් බව කිව යුතුයි. ඔවුන් මුල සිට දන්වා සිටියේ 20 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන නිසා එම සංශෝධනය වහා අහෝසි කළ යුතු බවත්යි.
මේ අතර අප රටේ ආගමික නායකවරුන්, සිවිල් සමාජය, බුද්ධිමතුන්, වෘත්තීය සමිති ආදී සියල්ලක්ම 20 වැනි සංශෝධනය ඒකාධිපති ගමනක් සඳහා ඇති කරන ලද පනතක් බව නොයෙක් වර හඳුන්වා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ ගැන කරුණු පැහැදිලි කරමින් එළැඹෙන සදුදා(30) යෝජිත පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා සඳහන් කළේ පළමුව රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය යුතු බවයි. ඔහු දුන් පණිවිඩය නම්, සංශෝධන සඳහා සහයෝගය නොදෙන බවයි. රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමට අන්තර්ජාතික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමේ අවශ්‍යතාවය මහලේකම්වරයාට නොවැටහීම ගැන අපි කණගාටු වනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද යෝජිත පනතේ ඇති අඩු පාඩුකම් ගැන සඳහන් කර තිබෙනවා. අප ව්‍යාපාරය මඟින් ද මෙවැනි කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. මෙම යෝජනා අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා.
20 වැනි සංශෝධනයෙන් ඇති කළ මහා විනාශය ජනතාව වටහා ගෙන ඇති හෙයින්, විවිධ හේතු දක්වමින් පනත ඉදිරිපත් කිරීමට ප්‍රමාද කළ හොත් රටේ නැවත උග්‍ර අරගලයක් ඇති වීමේ පෙර නිමිති අපට පෙනෙනවා.
එසේ හෙයින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අප කියන්නේ 19 වැනි සංශෝධනයේ ඇතුළත් ව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇතුළත් කර 21 වැනි සංශෝධනය වහා සම්මත කිරීමට ක්‍රියා කරන ලෙසයි.