“2050 දී ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිත රාජ්‍යක්”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

ආර්ථික-මුල්‍ය-සමාජයීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කෙරේ..! සිංගප්පූරු ප්‍රශ්න පත්‍රයට අගමැති පිළිතුරු දුන් හැටි මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) 2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත…
ආර්ථික-මුල්‍ය-සමාජයීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කෙරේ..!
සිංගප්පූරු ප්‍රශ්න පත්‍රයට අගමැති පිළිතුරු දුන් හැටි මෙන්න..!
(සුජිත් මංගල ද සිල්වා)
2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම සහ සැලැස්ම මේ වන විටත් සකස් කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ වැඩ පිළිවෙළ ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (10) දින සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමග එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමිනි.
සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් (Hon S. Iswaran) මහතා ද මෙහිදී අදහස් දක්වීය.
සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හෝටලයේ පැවති මේ සමුළුවට ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීමේ වැදගතකම ඉතා හොදින් අවබෝධ කර ගෙන ඇති බැවින්, ආර්ථික, මුල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
නව තාක්ෂණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථිකය අරමුණු කරගත් සමාජ රටාවක් බිහිකරලීමට ශ්‍රී ලංකාව ඇප කැපවී ක්‍රියා කරන බව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ලෝකයේ සියලු රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඉදිරියේ දී ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කොරියාව, ජපානය හා චීනය වැනි ආසියානු රටවල් සමග ඇති සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීමට වෙහෙසෙන බව ද පැවසීය.
දේශීය වශයෙන් ඉදි කිරීමට බලාපොරොත්තු වන ආර්ථික, කර්මාන්ත හා සංචාරක කලාප පිළිබඳව පැහැදිලි කළ රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ – මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට වෙසෙන මිලියන 9 ක ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කළ හැකි ආයෝජන පිළිබඳව ද පෙන්වා දුන්නේය.
මෙහිදී සංවිධානය කර තිබූ ප්‍රශ්නෝත්තර වාරයයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඊට අග්‍රාමාත්‍යවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය : ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් තිබෙන සැලසුම් මොනවාද?
පිළිතුර : පළමුව ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප සාම්ප්රදායිකවම ව්‍යාපාරික රටක් බව කිව යුතුයි. ඒ සාම්ප්‍රදායිකත්වය තවමත් අප රට තුළ දකින්නට ලැබෙනවා. තරුණ ව්‍යවසායකයන් රැසක් රට තුළ සිටින අතර ඔවුන්ට තිබෙන එකම ප්රශ්නය වන්නේ මූල්‍ය පදනම සොයා ගැනීමයි. අපේ රටේ බැංකු තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් සහ සාම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහා රජය කොපමණ උපකාර කළත් බැංකුවලින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ.
එම නිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිබෙන ව්‍යවසායකයින් සඳහා සහන ලබාදීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ණය පහසුකම් ලබාදීමේ ක්‍රියාවලිය ද වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පවතින බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත් විය යුතුයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අපනයන සංස්කෘතිය හදුන්වා දිය යුතුයි.
ප්රශ්නය : කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම කෙබඳුද?
පිළිතුර : කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපොළ වෙළෙදාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජය යටතේ එය ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත් කිරීමට පියවර ගත්තා. ලබන වසර වන විට එහි ගොඩ කිරීම් කටයුතු අවසන් වීමට නියමිත අතර අනතුරුව ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. දැනටමටත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දියානු සාගරය අවට පිහිටුවා තිබෙනවා. එම නිසා අප එහි අලූතෙන් ඇති කළ යුතු සේවාවන් මොනවදැයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැලසමක් සහිත ව්‍යාපෘතියක්.
මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී මූල්‍ය නගරය ආශ්‍රිතව එංගලන්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තය සූදානම් බව දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කටයුතු කර ගෙන යනවා. එහි එක් පියවරක් වන්නේ මූල්‍ය කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතු වන ගැටලූ පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමට අප බලාපොරොත්තු වන අතර වරාය මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය : ඉදිරි අනාගත දැක්මට සමගාමීව රටේ දත්ත එකතුව හා විශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේද?
පිළිතුර : මේ වන විටත් දේශීයව දත්ත එක්රැස් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ හරහා රටේ ආර්ථිකයට සිදුවන බලපෑම විශ්ලේෂණය කරනු ලබනවා. ඉදිරියේ දී අනෙකුත් රටවල් සමග මෙම දත්ත එකතු කිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අවසාන පියවර එය යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.
මෙම සමුළුව ආරම්භ කරමින් මුඛ්‍ය දේශනය පැවැත්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසූයේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිප්රායයන් පිළිබඳව මුළු ලෝකයටම යහපත් පණිවිඩයක් ලැබෙන බවය.
ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීම සඳහා රජය කැපවී සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කාර්යයන් දැන් සිදු කෙරෙමින් පවතින බවත් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය.
ආසියානු සැපයුම් ජාලය පිලිබඳව වැඩි බරක් තබමින්, ඒ හා එක්වීමට හැකි පරිසරයක් අපනයන කර්මාන්ත ඔස්සේ බිහිකරලීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා රටවල් ගණනාවක් සමග ද්විපාර්ශවික ගිවිසුම්වලට එළැඹිමට අපේක්ෂා කරන බවද පැවසීය.
මෙම අවස්ථාවට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
