අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

20න් සෙතක් වුණා දැයි පපුවට අත තියා අවංකව අසනු

20න් සෙතක් වුණා දැයි පපුවට අත තියා අවංකව අසනු

සියලු අර්බුද 20 නිසයි 20න් පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කළා රට ජාත්‍යන්තරව පිළිකුලට ලක් වුණා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට-ජනතාවට යහපතක් වුණා ද කියා සියලු දෙනා සිය පපුවට අත තබා…

සියලු අර්බුද 20 නිසයි 

20න් පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කළා 

රට ජාත්‍යන්තරව පිළිකුලට ලක් වුණා 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට-ජනතාවට යහපතක් වුණා ද කියා සියලු දෙනා සිය පපුවට අත තබා සිය හදවතින් අවංකව ඇසිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. 
 
කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ, "යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක්" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික ආගමික සංහිඳියාව සඳහා වූ එකමුතුව එකට එක්ව සංවිධානය කළ  මහනුවර දිස්ත්‍රික් සමුළුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
 
ඓතිහාසික මහනුවර රාජධානියට පැමිණ අති ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගමික නායක උතුමන්ලා ද, විද්වතුන්, බුද්ධිමතුන්, ගොවියන්, කම්කරුවන් සහ ප්‍රවීණ වෘත්තිකයින් ද ඇතුළු සිවිල් සමාජ නායකයන් හමු වීම අපට විශාල ගෞරවයක් සහ ශක්තියක් වනවා.

මහනුවර රාජධානියට පැමිණි විට අපට සිහි වන්නේ පරාධීනව සිටි අප අසමගිය නිසා අධිරාජ්‍යවාදීන් යටතට පත් වූ ආකාරයයි. මෙම ජාතික අසමගිය අදත් අප දකින අතර ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ දර්ශනය අනුව ගොඩනැගුණු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ ආගමික-ජාතික සංහිඳියාව සඳහා වූ එකමුතුව රටේ විවිධ ප්‍රදේශවලට ගොස් අද රටට අවශ්‍ය ජාතික එකඟතාව ගැන ජනතාව දැණුවත් කරනවා. එහි අගය අද රටට වැටහී තිබෙනවා.

රටක පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ගෞරවනීය ව්‍යවස්ථාවක් අවශ්‍යයි.ඒ අනුව එම ව්‍යවස්ථාවෙන් සෑම ජාතියකටම සහ සෑම ආගමකටම අයත් සෑම පුරවැසියකුටම ආත්ම අභිමානයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය විය යුතුයි. එම ව්‍යවස්ථාව ලෝකය පිළි ගත් මූලධර්මවලට අනුකූල විය යුතුයි.

දැන්වීම

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අප ලෝකයාගේ පිළිකුලට ලක් වූ බව කණගාටුවෙන් වුවත් අපට කියන්න සිදුව තිබෙනවා. අන්තර්ජාතිකව අප තනි වුණේ ඒ නිසයි. යුරෝපියානු පාර්ලිමේන්තුවේ දී අපට විරුද්ධව ඡන්ද හය සියයකට වඩා පාවිච්චි වුණා. ශිලාචාර ලෝකයේ තනිවීම අප රටට ඉතාමත්ම අහිත කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ශ්‍රී ලංකා ව්‍යවස්ථාව ඒකාධිපති ස්වරූපයකට පෙරළුණා. කැබිනට් පාලනය සහ පාර්ලිමේන්තුවේ බලතල එක් පුද්ගලයකු වටා පැවරුණා. 2/3ක පාර්ලිමේන්තු බලය ලැබුණත් පාර්ලිමේන්තුව රබර් සීල් එකක් බවට පත් වුණා. මහජන නියෝජිතයින් වශයෙන් පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඬක් නැහැ. මේ වාතාවරණය ඉතාම අහිතකර සහ භයානක තත්ත්වයක් වනවා.

මේ මොහොතේ රට පත්ව ඇති තත්වයට හේතුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එම යථාර්ථය සියලු දෙනාම පිළි ගන්නවා. මෙහිදී අප ජනතාවගෙන් අසන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 2/3ක් පාර්ලිමේන්තු බලයෙන් ජීවන වියදම අඩු කිරීමට හැකි වුණා ද..? සීනි, සහල්, ගෑස්, සිමෙන්ති, ඖෂධ ආදියට පැනවූ මිල පාලන නීති ක්‍රියාත්මක වුණාද..? විදේශීය සම්පත් උපයා ගැනීමට හැකි වුණාද..? මේ ප්‍රශ්නය පපුවට අත ගසා අප අපෙන්ම අවංකව ඇසිය යුතු ප්‍රශ්නයක් වනවා. 

අති බහුතරයක් අද 20 වන සංශෝධනය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව පිළි ගන්නවා. අප රජයට කිහිප විටක්ම කීවේ නව ව්‍යවස්ථාව සෑදීමේ ක්‍රියාදාමය ජනාධිපතිවරයාට හිතවත් නීතිඥයන් කණ්ඩායමක් වෙනුවට පාර්ලිමේන්තුව සහ ජනතාව විසින් කළ යුතු බවයි. එසේ නොමැතිව රජය උපයෝගී කර ගත් වර්තමාන ක්‍රමවේදය සමාජය පිළිගන්නේ නැහැ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
20න් සෙතක් වුණා දැයි පපුවට අත තියා අවංකව අසනු | Lanka Newsweek