අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

20න් පර්ල්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් කළා

20න් පර්ල්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් කළා

සර්ව බලධාරී ජනපතිවරයා නිසා රට වැනසුණා-මිනිස්සු අනාථ වුණා අනාගත පරපුරට අලුත් රටක් සහ නව යුගයක් උදා කරමු..! රට ගොඩනගන නව ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කරු කියයි ජාතික සහ ආගමික සංහිඳියාව සඳහා වන…

සර්ව බලධාරී ජනපතිවරයා නිසා රට වැනසුණා-මිනිස්සු අනාථ වුණා 

අනාගත පරපුරට අලුත් රටක් සහ නව යුගයක් උදා කරමු..!

රට ගොඩනගන නව ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් කරමින් කරු කියයි 

ජාතික සහ ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව කරූ වටා එක් වෙයි 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම විනාශ වුණ අතර පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත් වුණේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා චෝදනා කර සිටියි.

එමගින් මුළු රටම සර්ව බලධාරී ජනාධිපතිවරයෙකුගේ ආධිපත්‍යයට යටත් වුණත් රටේත් ජනතාවගේත් කිසිදු ප්‍රශ්නයක් නොවිසිඳුණු අතර මුළු රටම ආරාජික වූවේ යැයි ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක සමාජ සංහිඳියාව සඳහා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාළ යෝජනාවලියක් රට-ජනතාව හමුවේ තබමිනි.

දැන්වීම

දේශබන්දු කරු ජයසූරිය මහතා මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ඉදිරිපත් කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බදාදා (15) කැඳ වනු ලැබූ ජාතික සහ ආගමික සංහිඳියාව සඳහා වූ එකමුතුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

අප සංවිධානය මගින් සංවිධානය කරන ලද සමුළුවක් 2021 නොවැම්බර් 03 වන දින කොළඹ දී පැවැත් වුවා. ඒ සඳහා ත්‍රෛනිකායික අති පූජ්‍ය මහා නායක,  අනු නායක සහ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ද ඇතුළු මහා සංඝ රත්නය ද කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරමින් ගරු කටයුතු රදගුරු තුමන්ලා ඇතුළු පියතුමන්ලා ද  ශ්‍රී ලංකා ජමෙයිතුල් උලමා සභාවේ නියෝජිත පිරිසක්ද ශ්‍රී ලංකා රාමක්‍රිෂ්ණ සභාවේ නියෝජිතයෙක් ද ඇතුළු ගිහි පැවිදි විද්වතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

එදින එකී  රැස්වීමට පැමිණ සිටි සියලු ම පැවිදි උතුමන්ලා සේම ගිහි භවතුන් ද පළ කරන ලද ප්‍රධානතම කාරණය වූයේ ශ්‍රී ලංකාවේ අනාගතයෙහි පැවැත්ම රටේ ජාතික සහ ආගමික සංහිඳියාව තහවුරු වන ප්‍රමාණයට සාපේක්ෂව තීන්දු කරනු ඇති බවය. රටේ බහුතර ජනතාවගේ ද අදහස එම ස්ථාවරයම වන බව අපගේ විශ්වාසයයි. එපමණක් නොව එම තත්ත්වය ඉතාමත්ම පැහැදිලි සත්‍යයකි.

එහිදී සියලු දෙනාගේ එකඟත්වයෙන් "සම්මුතිය" නමින් ප්‍රකාශනයක් ද නිකුත් කරන කළා. එම ප්‍රකාශනයේ පිටපත් මේ අවස්ථාවේ ඉදිරිපත් කර තිබෙනවා. 
රටක කැඩපත වනුයේ එරට බල පවත්වන ව්‍යවස්ථාවයි. එම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට විනිවිද පෙනෙන රාජ්‍ය තන්ත්‍රයක් බිහි කිරීම සේම ජාතික ආගමික සහ සමාජයීය සංහිඳියාව ගොඩනැගීම සඳහා විශිෂ්ට ගණයේ ව්‍යවස්ථාවක් බිහි විය යුතුයි. ආණ්ඩුව පත් කරන කමිටුවක සීමිත සාමාජිකයන් පිරිසක් විසින් එවැනි ව්‍යවස්ථාවක්  නිර්මාණය කිරීම වෙනුවට, ජනතාව විසින් සකස් කරන ලද ව්‍යවස්ථාවක් එළි දැක්වීම අත්‍යාවශ වන බව අපගේ බලවත් විශ්වාසයයි.

මේ අවස්ථාවේ දේ අප ඉදිරිපත් කරන යෝජිත ව්‍යවස්ථාව එවැනි ආකාරයට සැකසුණු වැදගත් යෝජනාවලියක් වනවා. එම යෝජනාවලිය පරිපූර්ණ ව්‍යවස්ථා ආකෘතියක් නොවන බවද මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. එහෙත් අපේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික මූලධර්ම සහ ප්‍රමුඛ අංශ ගණනාවක් ඒ මඟින් නිරූපණය වනවා. 

අපගේ ඒකායන අපේක්ෂාව වන්නේ එම යෝජනාවලිය මේ රටේ සියලු කොටස්වල සහභාගීත්වයෙන් පෝෂණය වනු දැකීමයි. අද මෙවැනි සමුළුවක් කැවීමෙන් ද අප අපේක්ෂා කරන්නේ එම අරමුණ ජය ගැනීමයි. මෙම යෝජනාවලිය සැකසීමේදී ලෝකයේ විවිධ රටවල ජීවත් වන ශ්‍රී ලාංකික විද්වතුන් සහ ශ්‍රී ලංකාවේ ජීවත්වන කීර්තිමත් නීතිවේදීන් ද ඇතුළු බොහෝ දෙනෙක් දායකත්වය ලබා දී තිබෙනවා. ඒ සියලු දෙනාට අපගේ ගෞරවය පුද කර සිටිනවා.

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම විනාශ වුණ අතර පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක තත්ත්වයට තත්ත්වයට ඇද වැටුණා. මුළු රටම සර්ව බලධාරී ජනාධිපතිවරයෙකුගේ ආධිපත්‍යයට යටත් වුණා. මේ සියලු බලතලත්, 3/2ක පාර්ලිමේන්තුවේ ශක්තියත්, ලැබුණද රටේ දැවෙන ප්‍රශ්න අංශු මාත්‍රයකින් වත් විසඳාලීමට මෙතෙක් නොහැකි වූ බව රට වැසියා දන්නවා.

මේ අවස්ථාවේ දී අප යෝජනා කරනුයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ත්‍රිත්වයෙන් සමන්විත ශක්තිමත් රාජ්‍ය පාලනයක් සඳහා අඩිතාලම දැමීමටයි. එමගින් ජනතාවගේ පූර්ණ මූලික අයිතිවාසිකම් රැකෙනු නියතයි. ජාතික ආගමික සමාජයීය සංහිඳියාව නිතැතින්ම ඇති වනු නියතයි. එමගින් නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වේවි. රාජ්‍ය කරණයේ දී සහ උසස් නිලතල සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් සුදුසු පුද්ගලයින් පත් කෙරේවි. පොලිසිය අපක්ෂපාතී වේවි. මෙවැනි පරිසරයක් මත රටක් සමෘද්ධිමත් වේවි.  

ඔබ වහන්සේලා අප විද්වත් මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ඉදිරිපත් කරන ව්‍යවස්ථාවේ වැදගත් කරුණු ගැන ඔබතුමන්ලා ලබා දෙන වැදගත් අදහස් සහ යෝජනා දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර සම්මුතියකට පැමිණීමට හැකි වුව හොත් එම තත්ත්වය දේශයේ වාසනාවක් වනවා. ඒ ආශිර්වාදය අපට ලබා දෙන්න. ඊළඟ පරපුරට අපි අලුත් රටක් සහ නව යුගයක් උදා කරමු. ඒ අපගේ සිහිනය සහ පැතුමයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න