අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

16 කල්ලිය කරන්න යන ඒකාබද්ධයේ කුමන්ත්‍රණය හඳුනා ගැනේ..!

16 කල්ලිය කරන්න යන ඒකාබද්ධයේ කුමන්ත්‍රණය හඳුනා ගැනේ..!

(සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් ඇමති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනා ඒකාබද්ධ විපක්ෂයට ඍජුවම සම්බන්ධ කර…

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් ඇමති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනා ඒකාබද්ධ විපක්ෂයට ඍජුවම සම්බන්ධ කර නොගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටීමට ඉඩ හැරීමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සැලසුම් කරමින් සිටියි.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට යන්නේ එමගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත තව තවත් දේශපාලන පීඩනය මුදා හරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද ඇති කිරීමට මේ මන්ත්‍රීවරුන්ට හැකි වන නිසා ඒ ඔස්සේ ආණ්ඩුවත්,පාර්ලිමේන්තුවත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්,රටත් අස්ථාවර බව පෙන්වා කෙසේ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු වන තත්ත්වයක් නිර්මාණය කර මහ මැතිවරණයක් ලබා ගැනීමේ දේශපාලන උපක්‍රමයක් වශයෙන් බවට රාජ්‍ය බුද්ධි අංශ කරුණු තහවුරු කර ගෙන සිටියි.

ඒ අනුව මේ මන්ත්‍රීවරුන් දහසය දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වාඩි වී ජනාධිපතිවරයාටත්, එම පක්ෂයේ මැති ඇමතිවරුන්ටත් එරෙහිව උපක්‍රමශීලී ලෙස ක්‍රියා කරන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන  එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට එරෙහිව දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් ඒකාබද්ධ විපක්ෂයේ අවශ්‍යතාවය පරිදි පාර්ලිමේන්තුවේදී සහ රට-ජනතාව ඉදිරියේ ක්‍රියා කිරීමට සැලසු කර ඇති බවට ද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

එමෙන්ම මේ මන්ත්‍රීවරුන් අතර සිටින එස් බී දිසානායක,ඩිලාන් පෙරේරා,තිලංග සුමතිපාල සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පාර්ශවයෙන් එල්ල වෙමින් පවතින විරෝධය ද මේ සැලසුම ක්‍රියාත්මක කිරීම කෙරෙහි බලපා තිබේ.

මේ අතර සිය කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ ද සහය ඇතිව තවත් අලුතින් පිරිසකුත් එකතු කර ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලන්න යැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුවට එරෙහි ඉදිරි දේශපාලන උපාය උපක්‍රම සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිවසේදී සිදු කෙරුණු සාකච්ඡාවකදී මේ ඉල්ලීම ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා කියා තිබෙන්නේ එසේ කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි නගා සිටුවීමට තමාට අවශ්‍යතාවයක් නොමැති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරියට ගොස් රටේ බලය ලබා ගැනීමට හැකි බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
16 කල්ලිය කරන්න යන ඒකාබද්ධයේ කුමන්ත්‍රණය හඳුනා ගැනේ..! | Lanka Newsweek