113 ගත්තත් මහින්දට අගමැතිකම දෙන්න බෑ කී මෛත්‍රී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

රනිල්ට දෙන්න බෑ කියන්නේ කොහොමද..? 2015 මෛත්‍රී මහින්දට ලියපු ලියුම..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2015 මහ මැතිවරණයට මහින්දට නාම යෝජනා දෙන්න මෛත්‍රී තීරණය කළාට පසු සෝභිත හිමියෝ කේන්තියෙන් මාධ්‍යට…
රනිල්ට දෙන්න බෑ කියන්නේ කොහොමද..?
2015 මෛත්‍රී මහින්දට ලියපු ලියුම..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු)
2015 මහ මැතිවරණයට මහින්දට නාම යෝජනා දෙන්න මෛත්‍රී තීරණය කළාට පසු සෝභිත හිමියෝ කේන්තියෙන් මාධ්‍යට ප්‍රකාශයක් කළහ. සෝභිත හිමි කිවේ මේ තීරණය මෛත්‍රීට පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සටනක් වුවාට මෛත්‍රීව බලයට ගෙන ආ අපට ජීවිතය ආරක්ෂා කර ගැනීමේ සටනක් බවට පත් වී ඇති බවය. එමෙන්ම සෝභිත හිමි කීවේ මේ තීරණයේ භයානකකම අවබෝධ කරගන්න ඕනේ නම් මෛත්‍රීපාල උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ "ගුරුදා විග්‍රහය"ලිපිය කියවිය යුතු බවය. එම ලිපියේ සඳහන් වුයේ "මහින්ද දින්නොත් මෛත්‍රීපාල කරගන්නා විනාශයයි".
මහින්ද දිනන්නත් කලින් ඒ විනාශයේ ලකුණු පෙන්වූයේය. නාම යෝජනා ලබා ගැනීමෙන් පසු මහින්ද ජනතාව අතරට ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙසය. සන්ධානයේ අපේක්ෂකයන් මහින්දව හඳුන්වා දුන්නෙත් පාක්ෂිකයන් මහින්දව ඔල්වරසන් දී පිළිගත්තෙත් අනාගත අගමැති කියාය.
එහෙත් මෛත්‍රී මහින්දට නාම යෝජනා දුන්නේ ඔහුව අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකරන බවට නිවේදනයක් නිකුත් කරමිනි.
මෛත්‍රී මේ රැස්වීම් දෙස බලා හිටියේ නොසන්සුන්වය. මේ රැස්වීම්වල මෛත්‍රී ජනාධිපති වීමෙන් පසු ඇමති ධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අපේක්ෂකයන්ට "හු" කියනවද මෛත්‍රී දැහින්ම දුටුවේය. 2015 අගෝස්තු 13 වැනිදා මෛත්‍රී මහින්දට තද ලියුමක් ලියුවේය. ඒ ලියුමේ මෙසේ සඳහන් විය.
"මහ මැතිවරණයට ඔබ ඉදිරිපත් වීම නුසුදුසු යැයි යෝජනා කළ මා තුල ඔබ දේශපාලනයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කර තැබීමේ අපේක්ෂාවක් හෝ අවශ්‍යතාවක් නොතිබිණි. ඒ වෙනුවට ඔබ හට ගෞරවාන්විත දේශපාලන පැවැත්මක් ලබා දෙනු පිණිස සුදුසු ව්‍යවස්ථාමය ප්රතිපාදනයක් මම යෝජනා කලෙමි. ඔබගේ පවුලේ බොහෝ සාමාජිකයන් ඊට එකඟ වූ බවත් මම දනිමි.
එහෙත් ඒ සියල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිලිබඳ කිසිදු ආදරයක් සහ හැගීමක් නොමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පමණක් අප පක්ෂය සමග සම්බන්ධකම් ගොඩනගා ගෙන ඇති කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල සිරකරුවකු බවට ඔබ පත් වූ හෙයිනි. එම කුඩා කල්ලි සහ කණ්ඩායම් ඔබෙන් අපේක්ෂා කළේ ඔබ සතු යැයි පෙනුණු ඡන්දමය වටිනාකම සුරාකමින් තමන් හට පාර්ලිමේන්තුවේ අසුනක් සහතික කර ගැනීම පමණි.
වසර 64ක ඉතිහාසයකට හිමිකම් කියන, එමෙන්ම නිදහසින් පසුව දැඩිම කලක් එනම් පුර වසර 35ක් මෙරට පාලනය කල යෝධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එවැනි පටු පරමාර්ථ සහිත කුඩා කල්ලි සහ කණ්ඩායම්වල ග්‍රහණයට නතු වීමට ඉඩ ලබා දීමේ වගකීම ඔබ භාර ගත යුතුය. මේ තත්වය තුළ අප පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බෝහෝ දෙනෙක් දිස්ත්‍රීක් මට්ටමේ මනාප තරගයේදී එම දේශපාලන අවස්ථාවාදීන් ඉදිරියේ බෙලහීනත්වයට පත්ව ඇති ආකාරය කණගාටුදායකය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාක්ෂිකයාගේ ඡන්දය සහ මනාපය නැති දා කිසිදු දේශපාලන පැවැත්මක් නැති, ඇතැම් කුඩා කල්ලි සහ කණ්ඩායම්වල මෙම මහා පක්ෂයේ ගමන්මග නිර්ණය කිරීමට ඔබ ලබා දී ඇති අයිතය වහා නිමා කළ යුතුය"
"ඔබ මා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කියැවෙන ප්‍රවෘත්තියක් මෑතකදී ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි. ඔබට එවැනි අපේක්ෂාවක් තිබේ නම්, ඒ පිලිබඳ මා ඔබට අවධාරණය කලයුතු විශේෂ කරුණක් තිබේ.
ඔබ අත්තනෝමතිකව සම්මත කර ගන්නට යෙදුනු 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මුළු මහත් රටේද, ජනතාවගේද, ප්රජාතන්ත්රවාදී නිදහස සහ අයිතිය සහාසික ලෙස මර්නදය විය. එපමණක් ද නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීව ගුණය වන සමාජ ප්රජාතන්ත්රවාදී මුහුණුවර කෙලෙසුණු අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකටම විශාල අසාධාරණයක් සිදු විය.
සදාකාලිකව ජනාධිපති ධුරයේ රැදී සිටීම පිණිස ඔබ ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ සහ පක්ෂය වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ දේශපාලන අනාගතයත් උදුරා ගත් ආකාරය අවිචාරවත්ය. ඔබට පෙර සිටි ජනාධිපතිවරුමෙන්, ධුර කාල දෙක නිමවා ඔබත් විශ්‍රාම ගියේ නම් අප පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතරින් එක් අයෙකු නව ජනාධිපති වීමටත්, තවත් අයෙකු හට අගමැති වීමටත් අවස්ථාව උදා වන්නට ඉඩ තිබිණි. දැන් පෙනී යන්නේ ඔබ මෙම මැතිවරණයෙන් පසුවද ඔවුන් හට හිමි විය යුතු අවස්ථා අහිමි කිරීමට සැරසෙන බවයි. ඔවුන්ට දැන්වත් නිසි තැන හිමිවිය යුතු නොවේද..?
එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 සීමාවට ළගා වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි වුවහොත් අගමැති ලෙස පත් විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂ්ඨ නායකයෙකු බව මම විශ්වාස කරමි. යම් හෙයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට 113 සීමාව වෙත ළගා වීමට නොහැකි වී, ඒ ආසන්නයට පමණක් ළගා වීමට හැකි වුවහොත් ආණ්ඩුවක් පිහිටු වීමට අවශ්‍ය ඉතිරි අසන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස මා හට මැදිහත් විය හැකිය.
එවිටද අගමැති විය යුත්තේ ඔබ නොව පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨ නායකයෙකි. අප පක්ෂයේ සැබෑ ශක්තිය නම්, එය, අගමැති ධුරය හෙබවීමට තරම් කෘතහස්ත බවත් දේශපාලන පරිණත බවත්, දුරදර්ශි බවත් සපිරි නායකයන් ගණනාවකගෙන් සැදුම් ලත් මේ රටේ එකම දේශපාලන පක්ෂය වීමයි.
නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනවිරත්න, ඒ.එච්.එම්.ෆවුසි, සුසිල් ප්‍රේමජයන්ත්, සහ අනුර ප්‍රියදර්ශන යාපා, වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් අතරින් කෙනෙකු මෙම මහ මැතිවරණයෙන් පසුව අගමැති ධුරයට පත් කිරීමට ඔබගේ සහයෝගය, නම්යශිලිභාවය, පරිත්යගශිලිභාවය සහ ආශීර්වාදය ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන මෙන් රටෙත්, ජනතාවගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් නාමයෙන් මම ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමි. "
මෛත්‍රීගේ මේ ලිපියට මහින්ද ද ලිපියක් ලීවේය. ඒ 2015 අගෝස්තු 14 වැනි දිනය. පහත දැක්වෙන්නේ එහි අවසන් පරිඡේද දෙකය.
"මා 2015.01.19 දින ජනාධිපති මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන් වීමට මත්තෙන් අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව ගියෙත් ඉන් දින කිහිපයක් තුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සහ පක්ෂය ඔබ වෙත භාර කලෙත්,ඔබතුමාගේ ඉල්ලීම මත මා ගත් තීරණයක් අනුවය. එහෙත් 2015 පෙබරවාරි මාසය වනවිට බහුතර පාක්ෂිකයන් සහ ජනතාවගේ ඉල්ලීම නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ම පෙළඹ වූ බව සිහිපත් කරමි. මා 2015 ජනවාරි මස 09 වැනි දින මහජන මතයට ගරු කළ අයුරින්ම ඔබතුමාද 2015 මහ මැතිවරණයේදී මහජන මතයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරමි." 14.08.2015
මහින්දගේ මෙම පිළිතුරු ලිපිය කියවන විට පෙනෙන්නේ තමා 2015 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම ස්ථීර බවත්, තමා 2015 ජනාධිපතිවරණයෙන් ජන මතයට ගරු කොට ඉවත් වුවා සේ මෛත්‍රී 2015 මහා මැතිවරණ ජන මතයට ගරු කොට තමාව අගමැති කළ යුතු බවය. ඔහු නොකියා කියන්නේ අද රනිල් සහ එක්සත් ජාතික පක්ෂය කියන කතාවය. වෙනත් වචනවලින් කියනවානම් මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස මහජන වරම ලබන පුද්ගලයාට අගමැති ධුරය ලබා දීමට මෛත්‍රීපාල බැඳී සිටින බවය. හැබැයි මෙහිදී වෙනසක් ඇත. 2015 මහ මැතිවරණයේදී මහින්ද තරග කලේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාජිකයෙකු වශයෙන්ය. මෙකල සන්ධානයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද, නායකයෙකු වී සිටියේ මෛත්‍රීපාලය. සාමාන්‍යයෙන් පක්ෂයක් හෝ එහි නායකයා මහ මැතිවරණයකදී පක්ෂයේ කවුරුන් හෝ අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් මැතිවරණයට පසු අගමැති කවුද කියා තීරණය කරන්නේ පක්ෂ නායකයා සහ පක්ෂයය.
1989 මහ මැතිවරණයේදී ප්‍රේමදාස ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂය අගමැති අපේක්ෂකයා කවුද කියා ඡන්දයට කලින් කිවේ නැත. එම නිසා ප්‍රේමදාසට,විජේතුංග අගමැති කිරීමට හැකි විය.
1994 සහ 2000 දීත් , 2001 සහ 2004 දීත් චන්ද්‍රිකා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණ වලදී අගමැති අපේක්ෂකයා නම් කළේ නැත. එම නිසා චන්ද්‍රිකාට අවශ්‍ය පපුද්ගලයාට අගමැති ධුරය දිය හැකිව තිබිණි. 2010දී මහින්ද අගමැති අපේක්ෂකයෙක් නම් කලේ නැත. 1989 විජේතුංග අගමැති වුයේ පක්ෂ නායකයා ලෙස ප්‍රේමදාසගේ විශ්වාසය ඔහු දිනා ගත් නිසාය. 1995 සිරිමාවොත් , 2000 රත්නසිරිත්, 2004 මහින්දත් අගමැති වුයේ පක්ෂ නායකයා ලෙස චන්ද්‍රිකාගේ විශ්වාසය දිනාගත් නිසාය. 2010 දී.මු. අගමැති වුයේත් පක්ෂ නායක ලෙස මහින්දගේ විශ්වාසය දී .මු. දිනාගත් නිසාය.
නමුත් 2001 දී එසේ වුයේ නැත. 2001 මහ මැතිවරණය දින්නේ ජනාධිපති චන්ද්‍රිකාගේ පක්ෂය නොව විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයය. 2001 මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නම් කලෙත් එහි පක්ෂ නායක රනිල්වය. එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ජය ගත් විට චන්ද්‍රිකාට රනිල්ව අගමැති ලෙස පත් කිරීමට සිදු විය. මන්ද රනිල් චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොව එක්සත් ජාතික පක්ෂයේ නායක වූ නිසාය. අනෙක ඔහු අගමැති ධුරයට ජනවරමක් ලබා ගත් නිසාය.
2015 මහ මැතිවරණයේදී ද රනිල් අගමැති අපේක්ෂා ලෙස ඉදිරිපත් වී අගමැති ධුරයට ජනවරමක් ලබා ගත්තේය. ඔහු 2018 මෛත්‍රීගේ ද ආශීර්වාදය ලැබ මහින්දලා ගෙන ආ විශ්වාස භංගයකින් ද ජය ගත්තේය.මේ නිසා එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ රනිල්ව අගමැති ධුරයට නම් කරනවා නම් මෛත්‍රීට එය අභියෝග කරන්න බැරිය. හේතුව මෛත්‍රී එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පෙරමුණේ නායකයා හෝ එහි සාමාජිකයෙකුද නොවේ. මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයාය.
අනෙක මෛත්‍රී ජනාධිපති ධුරයට පත්වුයේ එක්සත් ජාතික පක්ෂ සහ එක්සත් ජාතික පෙරමුණේ ඡන්දවලින්ය. මෛත්‍රී ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය දුන් ඡන්දදායකයන්ට තමා ලද ජනවරමට පොරොන්දුවක් දුන්නේය. ඒ පොරොන්දුව නම් ඔවුන්ගේ නායකයා අගමැති ධුරයට පත් කරන බවටය. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ රනිල් වෙනුවට වෙනත් නමක් අගමැති ධුරයට යෝජනා කළා නම් ඔහුව අගමැතිධුරයට පත් කිරීමට මෛත්‍රී බැඳී සිටි.
අනෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු අද ඉන්නේ 78 ව්‍යවස්ථාවේ අගමැති නොවේ. ජනාධිපතිට අභියෝග කල හැකි බලතල සහිත අගමැතිවරයෙකි. එවැනි අගමැතිවරයෙකු තෝරා පත් කල යුත්තේ ජනවරමට සහ පාර්ලිමේන්තු බහුතරයට අනුව මිස ජනාධිපතිගේ කැමැත්ත අනුව නොවේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැති විය යුත්තේ ජනාධිපතිගේ විශ්වාසය දිනා ගත් අයකු නොව මහ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් අයෙකුය.
ආසන 113ක් ගත්තත් මහින්දව අගමැති කරන්නේ නැහැ කි මෛත්‍රී 2018 ඔක්තෝබර් 26 දා 113 නැතිව මහින්දව අගමැති කළා සේ ජිවිතයට රනිල්ව අගමැති කරන්නේ නැහැ කියා රනිල්ව අගමැති ධුරයට පත් කරන්න බැරිකමක් තිබිය නොහැකිය.
-ගුරුදා විග්‍රහය-
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7