ෆීල්ඩ් මාර්ෂල්ට සජබ මහා ලේකම් දේශපාලන විනය ගැන උගන්වයි

"සජබයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් වගකීමකින් යුතුව කතා කළ යුතුයි" "පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු එළියේ කතා නොකළ යුතුයි" "ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකිනවා" සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස ෆීල්ඩ්…
"සජබයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් වගකීමකින් යුතුව කතා කළ යුතුයි"
"පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු එළියේ කතා නොකළ යුතුයි"
"ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකිනවා"
සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මීට වඩා වගකීමකින් යුතුව කතා කළ යුතුව ඇතැයි එම පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.
දේශපාලන පක්ෂයක අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු කාරණා එළියේ කතා කරනවාට තමා විරුද්ධ යැයි ද සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියි.
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ, හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා එම පක්ෂයට ගැනීම ගැන එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එල්ල කරන දැඩි විවේචනය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
"විවිධ පුද්ගලයින් ගැන විවිධ අය විවිධ අදහස් දරනවා. එක් අයෙකුට හොඳ පුද්ගලයෙකු තවත් අයෙකුට නරක විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් තීන්දු තීරණ ගනිද්දී එක පුද්ගලයෙකුගේ අදහස් සහ යෝජනා මතම ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියන්නේ එතුමාව සිර ගත කිරීමට හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා ක්‍රියා කළා කියලයි. ඒ ගැන එතුමාට වේදනාවක් ඇති. නමුත් දේශපාලන පක්ෂයක් ලෙස බහුතරයේ කැමැත්ත මත පක්ෂය වෙනුවෙන් යම් යම් තීන්දු තීරණ ගත යුතු වනවා.
සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති වශයෙන් පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු කාරණා එළියේ කතා කරනවාට පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස මම නම් විරුද්ධයි. සමහරු සිතේ අමාරුවට යම් යම් ප්‍රකාශ කරනවා. තවත් අය ද්වේශයෙන් යුතුව යම් යම් ප්‍රකාශ කරනවා. එවැනි ප්‍රකාශ මම තරයේ හෙළා දකිනවා. දේශපාලන පක්ෂයක සභාපති වුණාම මීට වඩා වගකීමෙන් යුතුව කතා කළ යුතුයි."
