හිසට වෙරෙන් පහර කා මිය ගිය ටකාබුටි

(සාගර දියගම) අද බොහෝ දෙනෙකුට 'මමියක්' කියන්නේ ඉපැරණි ඉතිහාසයක කොටසක් විතරයි. එහෙමත් නැත්නම් තවත් කෞතුක වස්තුවක් විතරයි. ඒත් අමතක කරන්න හොඳ නෑ, ඒවා කලකදි අප මෙන්ම ජීවිත වූ බව! ඒ නිසා සංවේදී සමහරු මේ…
(සාගර දියගම)
අද බොහෝ දෙනෙකුට 'මමියක්' කියන්නේ ඉපැරණි ඉතිහාසයක කොටසක් විතරයි. එහෙමත් නැත්නම් තවත් කෞතුක වස්තුවක් විතරයි. ඒත් අමතක කරන්න හොඳ නෑ, ඒවා කලකදි අප මෙන්ම ජීවිත වූ බව! ඒ නිසා සංවේදී සමහරු මේ නිහඬ සිරුරුවල ජීවිත කතා හෙව්වා. මේ එහෙම කතාවක් ඇගේ නම තමයි ටකාබුටි (Takabuti). අපි අද ඇගේ කතාව පටන් ගන්නේ කොහෙන්ද?
ටකාබුටි ජීවත් වුණේ ක්‍රි.පූ. 660දී විතර පැරණි ඊජිප්තුවේ තීබ්ස් කියන නගරයේ. ඒ කියන්නේ ඇය බුදුහාමුදුරුවෝ ඉපදෙන්නත් පෙර ඉපදුන ඊජිප්තු රාජකීය පවුලට සම්බන්ධ කුමාරිකාවක්. ඒ බව දැනගන්න ලැබුණේ ඇගේ සිරුර මමීකරණය කරලා තියෙන විදිහ සහ ඇගේ භූමදානයේ තියෙන වටිනා භාණ්ඩ වලින්! මොකද ඒවායින් අපට ඇගේ ඉහළ සමාජ තත්ත්වය අපිට තේරුම් ගන්න පුළුවන්..
ඒත් මේ 'මමිය' ගැන විශේෂයෙන්ම කතාකරන්න හේතු වූ කාරණය තවමත් ආනාවරණය නොවු, වසර දෙදහසක් තිස්සේ සැගවුණු, එක් බිහිසුණු අභිරහසක් එය අපට නිහඬව පවසන නිසයි.
දැන්වීම
ටකාබුටිගේ මරණය සිදුවන විට ඇයගේ වයස අවුරුදු 20ත් 30ත් අතර වූ බවට විද්‍යාඥයන් විසින් ගණන් බලා තිබෙනවා. මෙය ඇගේ සිරුර පරීක්ෂා කිරීමෙන් සහ ඇගේ දත් සහ අස්ථිවල වර්ධන රටාව අධ්‍යයනය කිරීමෙන් සොයාගත් කරුණක්. මෙසේ ඇය තරුණ වියේදීම මිය යාම, ඇගේ කතාවේ ඛේදජනක ස්වභාවය තවත් වැඩි කරනවා..
ටකාබුටිගේ භූමදානයේ තිබුණු වටිනා භාණ්ඩ ගැන වැඩි විස්තර වාර්තා වෙලා නැහැ. එයට හේතුව ඇගේ මමිය සොයාගත් ආකාරය. 1798 දී ප්‍රංශයේ පාලකයා වූ නැපෝලියන් බොනපාට් ඊජිප්තුව ආක්‍රමණය කළා. ඔහුගේ හමුදාව සමඟ විද්‍යාඥයින්, ඉතිහාසඥයින් සහ කලාකරුවන් 150කට අධික පිරිසක් සිටිය බව කියැවෙනවා. ඔවුන් ඊජිප්තුවේ සංස්කෘතිය, පුරාවස්තු සහ ස්වභාවික පරිසරය පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකළා. මෙම අධ්‍යයනවල ප්‍රතිඵලයක් ලෙස "Description de l'Égypte" (ඊජිප්තුව පිළිබඳ විස්තරය) නම් වෙළුම් 23 කින් යුත් පොත් මාලාවක් ප්‍රකාශයට පත් කළා. මෙම පොත් මාලාව යුරෝපය පුරා විශාල උනන්දුවක් ඇති කළා.
කොටින්ම යුරෝපීන් අතර ඊජිප්තු සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව ඇති වූ දැඩි කුතුහලය උන්මාදයක් මෙන් වුණා! මෙය "ඊජිප්තුමේනියා" Egyptomania ලෙස හැඳින්වුණා..
විශේෂයෙන්ම වංශවත් සහ ධනවත් පවුල් අතර ඊජිප්තු කලා නිර්මාණ, මමී සහ පුරාවස්තු එකතු කිරීම ඔවුන්ගේ තත්ත්වය ධනය බලය පෙන්වන විලාසිතාවක් බවට පත් වුණා..
1822දී ජෝන් ෆ්‍රැන්කොයිස් චැම්පොලියන් විසින් රොසෙටා පාෂාණය භාවිතයෙන් හයිරොග්ලිෆික්ස් විකේතනය කිරීම, ඊජිප්තු පුරාවස්තු කෙරෙහි තිබූ උනන්දුව තවත් වැඩි කළා..
මේ නිසා, ඊජිප්තු ලේඛන කියවීමට හැකි වීමෙන්, යුරෝපීයයන්ට ඊජිප්තු ඉතිහාසය හා සංස්කෘතිය වඩා හොඳින් තේරුම් ගැනීමට අවස්ථාව ලැබුණා. මේ දැනුම, මමී සහ පුරාවස්තු දෙස බැලූ විලාසය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒවා තවදුරටත් අමුතු කෞතුක භාණ්ඩ ලෙස නොසැලකූ අතර ඒවා මිනිසුන්ගේ සත්‍ය කතාවන් පැවසූ වටිනා වස්තූන් බවට පත් වුණා.
මෙසේ අධික ඉල්ලුම නිසාත්, එකල පුරාවස්තු වෙළෙඳාම සඳහා දැඩි නීති නොතිබුණු නිසාත් සොහොන් කොත් කොල්ලකෑම බහුලව සිදුවුණා, ඒවායේ තිබූ මමී සහ වටිනා භාණ්ඩ යුරෝපයට විකුණනු ලැබුවා..
ටකාබුටිගේ මමිය තෝමස් ග්‍රෙග්ට ලැබුණේ, ඔහු 1834 වසරේදී ඊජිප්තුවේ තීබ්ස් (නූතන ලක්සෝර්) නගරයේ තිබුණු මමී වෙළෙඳපොළකින් මිලදී ගැනීමෙන් පසුව!
ඔහු එය නැව් මගින් අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයට ගෙනැවිත්, බෙල්ෆාස්ට් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයට පරිත්‍යාග කළා. එය තමයි අයර්ලන්තයට ගෙන ගිය පළමු ඊජිප්තු මමිය ලෙස සැලකෙන්නේ.. මේ නිසා ඇය අදත් අයර්ලන්තයේ තිබෙන ප්‍රසිද්ධම ඊජිප්තු මමිය එයයි.
එදා 1835දී බෙල්ෆාස්ට්හි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේදී ටකාබුටිගේ මමිය මුලින්ම විවෘත කළ අවස්ථාවේ, එඩ්වඩ් හින්ක්ස් නම් 19 වන සියවසේ ජීවත් වූ අයර්ලන්ත ජාතික ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයා එහි සිටියා..
ටකාබුටිගේ මමියට අදාළව ඔහුගේ කාර්යභාරය ඉතා වැදගත්. මොකද මිනී පෙට්ටියේ (mummy case) සටහන්ව තිබූ හයිරොග්ලිෆික් සලකුණු සාර්ථකව විකේතනය කළේ ඔහු. ඒ මගින් මියගිය අයගේ නම 'ටකාබුටි' බවත්, ඇගේ පියාගේ සහ මවගේ නම් සහ ඇය රාජකීය පවුලට අයත් වංශවත් කුමාරිකාවක් ආදී තොරතුරු මුලින්ම ඔහු ලෝකයට හෙළිදරව් කළා. හැබැයි පුරාවිද්‍යාවට හින්ක්ස්ගේ ප්‍රධානම දායකත්වය සැලකෙන්නේ කියුනිෆෝම් (cuneiform) කියන පැරණි ලේඛන ක්‍රමය විකේතනය කිරීම. ඔහු මෙසපොතේමියාවේ පැරණි භාෂා අධ්‍යයනය කර ඒ ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇති කළා. ඒ නිසා ඔහුව "කියුනිෆෝම් ත්‍රිත්වයේ" (holy trinity of cuneiform) එක් සාමාජිකයෙක් ලෙසත් හඳුන්වනවා. ඔහු තම ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ අර්ඩ්ට්‍රී සහ කිලීලියා යන ප්‍රදේශවල පූජකයෙක් ලෙස. ඒ කොහොම වුනත් ඔහු ලෝක පුරාවිද්‍යා ක්ෂේත්‍රයේත් විශිෂ්ටතමයන් අතර සිටි අයෙක්. ඒ නිසා ඔහුට ගෞරව කිරීම පිණිස, කයිරෝ කෞතුකාගාරයේ ප්‍රධාන පිවිසුම අසල ඔහුගේ පිළිරුවක් පවා ස්ථාපනය කර තිබෙනවා..
එඩ්වඩ් හින්ක්ස් අපට කියවා දුන් 'ටකාබුටි' කියන නමේ නිශ්චිත තේරුම ගැන තවමත් විවිධ මත තියෙනවා. නමුත් ඇගේ මිනී පෙට්ටියේ තිබූ සලකුණු වලින් හෙළි වූ තොරතුරු අනුව නමේ අර්ථය "මහා නිවසේ ස්වාමිදුව" Mistress of a Great House සහ "උතුම් කාන්තාව" Noblewoman ලෙස කිවහැකියි. ඇගේ පියා ඇමොන් දේවස්ථානයේ පූජකයෙකු වූ "නෙසපරේ" වන අතර, ඇගේ මව "ටසෙනිරිට්" ලෙස හඳුනාගෙන තිබෙනවා..
මෙසේ වසර 1834 සිට ඇගේ මමිය බෙල්ෆාස්ට් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා අවුරුදු 200ක් යතවී යනතුරු ඇගේ මරණයට හේතුව අබිරහසක්ව තිබුණා. ඒ නිසා එය දුටු දුටුවන් කුතුහලයට පත්කළ තවත් එක් මමියක් පමණක් වුණා..
නමුත් විද්‍යාව එහි එක් අභිරහසක් ලෝකයට හෙළිදරව් කළා. ඒ ටකාබුටි සාමකාමීව මිය ගිහින් නැහැ. ඇගේ හිස පිටුපසට තියුණු ආයුධයකින් පහර දී තියෙනවා. ඇගේ කකුල්වල මාංශ පේශිවල ප්‍රෝටීන පරීක්ෂා කිරීමෙන්, මිය යන්නට මොහොතකට කලින් ඇය දුවමින් සිටි බවත් තහවුරු වුණා!
මේ සියලුම සාධක වලින් පෙන්නුම් කරන්නේ, ඇය යමෙකුගෙන් බේරෙන්න උත්සාහ කරද්දී, පිටුපසින් හිසට එල්ල වූ දරුණු පොරෝ පහරකින් ක්ෂණිකව මිය ගිය බව! ඇයි ඇයට මෙවැනි කුරිරු ඉරණමක් අත්වුණේ?
ටකාබුටි ජීවත් වුණේ ඊජිප්තු ඉතිහාසයේ ඉතාමත් කැළඹිලි සහිත යුගයක. ක්‍රි.පූ. 7 වැනි සියවසේ මැද භාගයේදී ඇසිරියානු හමුදා ඊජිප්තුව ආක්‍රමණය කළා..
ඒ වගේම දේශපාලන ගැටුම්, බල අරගල සහ රාජවංශික වෙනස්කම් ඒ කාලයේ බහුලව තිබුණා. මේ වගේ අවිනිශ්චිත කාලයක, ඇය දුවමින් සිටි බවත්, හිසට දරුණු පහරක් එල්ල වූ බවත්, අපිට මතක් කර දෙන්නේ, ඇය යුද්ධයකින් හෝ දේශපාලන ගැටුමකින් පලා යමින් සිටියදී ඝාතනයට ලක් වුණාද කියන සැකය. ඇය රාජකීය පවුලේ සාමාජිකාවක් නිසා, ඇසිරියානු සොල්දාදුවෙකු විසින් ඇයව යුද්ධයේ ත්‍යාගයක් ලෙස අල්ලා ගැනීමට උත්සාහ කරන්නට ඇති!
ඇසිරියානුවන් කියන්නේ, පැරණි මෙසපොතේමියාවේ ජීවත් වූ ජන කොටසක්. ඔවුන් ක්‍රි.පූ. 14 වැනි සියවසේ සිට ක්‍රි.පූ. 7 වැනි සියවස දක්වා පැවති විශාල අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තා. ඔවුන්ගේ අධිරාජ්‍යය පුරාණ මැදපෙරදිග ප්‍රදේශයේ බලවත්ම හමුදා බලය බවට පත් වුණා...
හැබැයි මමිය තවදුරටත් අධ්‍යයනය කිරීමේදී තවත් වැදගත් තොරතුරක් හෙළිවුණා. ඒ ටකාබුටිගේ මරණය සිදු වී ඇත්තේ ඇසිරියානු ආක්‍රමණයට පසුව බව. මන්ද ඇගේ මරණයට හේතුව යුද්ධයක් හෝ ආක්‍රමණයක් නම්, ඇයට එවැනි ක්‍රමවත් භූමදානයක් ලැබෙන්නට ඉඩක් නැහැ.
හිතන්න, යුද්ධයක් හෝ ආක්‍රමණයක් අතරතුර ඇය මිය ගියේ නම්, ඇගේ සිරුර සටන් බිමේ හෝ නිසි ගෞරවයකින් තොරව භූමදාන කිරීමට ඉඩ තිබුණා..
එහෙත් ඇගේ සිරුර ඉතා සැලකිල්ලෙන් මමීකරණය කර තිබීමෙන්, ඇගේ පවුලේ අය හෝ ඇයට සමීප කෙනෙකු ඇගේ සිරුර සොයාගෙන නිසි භූමදානයක් ලබා දුන් බව අඟවනවා. මේ නිසා ඇය ආක්‍රමණික සොල්දාදුවෙකු අතින් මියයාමට ඇති ඉඩකඩ අඩුයි. දැන් ප්‍රශ්නය, ඝාතකයා ඇසිරියානු සොල්දාදුවෙකු නොවේ නම්, ඒ කවුද ?
එක මතයක් තමයි මෙය දේශපාලන ඝාතකයෙක් බව! කුමාරිකාවක් වීම නිසා ටකාබුටි ප්‍රමුඛ ඉලක්කයක් වීමට ඉඩ තිබුණා.. ඒ කාලයේ දේශපාලන අස්ථාවරත්වය සැලකිල්ලට ගත් විට, ඇතම්විට ඇගේ මරණය දේශපාලන ඝාතනයක ප්‍රතිඵලයක් විය හැකියි. ප්‍රහාරකයා ඇයට සැඟවී සිට පහර දෙන්නට ඇති අතර, පහර දීමට පෙර ඇය දිව යන්නට ඇත. මෙය ඇගේ මරණයේ ප්‍රචණ්ඩකාරී ස්වභාවය සහ ඇගේ පවුලේ අයට පසුව ඇගේ සිරුර සොයා ගැනීමට හැකි වූයේ මන්දැයි පැහැදිලි කරනවා..
තවත් මතයක් කියන්නේ ඉඩම්, මුදල් හෝ බලය පිළිබඳ ගැටුමක් හේතුවෙන් ඇය පුද්ගලික ප්‍රහාරයකට ගොදුරු වීමටද ඉඩ ඇති බව!
කෙසේ හෝ අවසාන වශයෙන්, ටකාබුටිව ඝාතනය කළේ කවුරුන්දැයි නිශ්චිතව පැවසිය නොහැකි වුවත් වඩාත් ඉඩ ඇති අවස්ථාව වන්නේ ආක්‍රමණික සොල්දාදුවෙකුගේ අහඹු ඝාතනයකට වඩා දේශපාලන හෝ පුද්ගලික ඝාතනයක් වීමයි.
මෙසේ ඇය දුවමින් සිටියදී හිසට දරුණු පහරක් එල්ල වීමෙන් මියගිය බව අධිකරණ වෛද්‍ය සාක්ෂි වලින් හෙළි වුවත්, ඇයව ඝාතනය කළේ කවුරුන්ද යන්න අදටත් අභිරහසක්.
මේ අනාවරණයන් නිසා, ඇගේ දේහය දකිනවිට දැන් අපිට පෙනෙන්නේ එය තවත් නිකම්ම එක් කෞතුකාගාර ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස නොව, ඉතිහාසයේ වසර දහස් ගණනක් නිහඬව තමන්ට සිදුවූ ඛේදනීය ඉරණම අපට කියන්නට උත්සහ කළ, අවසන් මොහොතේත් දිවි ගලවා ගැනීමට වේගයෙන් දිවගිය අසරණ තරුණියකගේ මරණයක අභිරහසක් ලෙස. ඇත්තටම ඇගේ ඝාතනය කෙසේ සිදුවන්නට ඇද්ද?