හාල් කියා ගන්න බැරි ආණ්ඩුවෙන්, සජබයට හාල් මඩක්

"කෝටි පනහක් ලබා දුන්නත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නුදුන්නැයි සහල් ව්‍යාපාරිකයා යකා නටයි "මේ ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය තුළ ප්ලාන්ට් කර තිබූ ලිපියක සිරස්තලයකි. එම ලිපියේ අන්තර්ගතයේ දක්වා තිබුණේ,…
"කෝටි පනහක් ලබා දුන්නත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නුදුන්නැයි සහල් ව්‍යාපාරිකයා යකා නටයි "මේ ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය තුළ ප්ලාන්ට් කර තිබූ ලිපියක සිරස්තලයකි. එම ලිපියේ අන්තර්ගතයේ දක්වා තිබුණේ, මෙම ව්‍යාපාරිකයා රත්න සහල් අධිපති ලංකේශ්වර මිත්‍රපාල මහතා බවත්, ඔහු මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත්තේ සමගි ජන බලවේගය කාර්යාලය තුළදී බවත්ය.
එහෙත් මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එහි නිළධාරීන් කියා සිටියේ මෙවැනි සිදුවීමක් පක්ෂ කාර්යාලය තුළ සිදු නොවූ බවයි. ඉන් අනතුරුව අප රත්න සහල් අධිපති ලංකේශ්වර මිත්‍රපාල මහතාගේ පාර්ශවයෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔවුන්ද මෙම තොරතුර ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම පුවත පිළිබඳ නෙත් නිවුස් සමාජ මාධ්‍ය පිටුව තුළද තොරතුරු වාර්තා කර තිබූ අතර, එහි දැක්වුණේ, මෙවැනි සිද්ධියක් සිදු නොවූ බව, රත්න සහල් අධිපති ලංකේශ්වර මිත්‍රපාල මහතා සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළ බවයි.
දැන්වීම
නෙත් නිවුස් වාර්තාව ද අප මෙලෙස උපුටා දක්වන්නෙමු.
"ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම වෙනුවෙන් කිසිදු පක්ෂයකට තමන් මුදල් ලබා දී නොමැති බව නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසනවා. අදාළ මුදල ලබාගෙන මන්ත්‍රී ධුරය ලබා නොදුන් බවට කෝටිපති ව්‍යාපාරිකයා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබුණා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ද පැවසුවේ, සිය පක්ෂ විසින් එලෙස කිසිවෙකුගෙන් මුදල් ලබාගෙන නොමැති බවයි."
ජනතාවට තුන්වේල කන්නට සහල් දී ගන්නට බැරි ආණ්ඩුව සහ ජනාධිපතිවරයා, පසුගිය සමයේ මහ පරිමාණ සහල් මොල් හිමියන් කැඳවා මේසයට ගසමින් රුපියල් 10 කින් සහල් සඳහා පාලන මිලක් වැඩි කරදුන් අයුරු මේ රටේ ජනතාවට අමතකව නැත. එමෙන්ම බොරු සහල් හිඟයක් පෙන්වමින්, පිටරටින් ඕනෑ තරම් සහල් ගෙන එන්නට පුද්ගලික අංශයට අවසර දුන් රජය තවමත් සහල් හිඟය නිමා කිරීමට අපොහොසත්වීම උඹතෝ කෝටික ප්‍රශ්ණයක් වී තිබේ.
තමන්ගේ ජනතාව පෝෂණය කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම කාර්යයන් අතර එකක් වී ඇති පසුබිමක වෙළඳ පෙලේ සහල් හිඟය සහ මිල පාලනය කරගත නොහැකි වත්මන් මාලිමා ආණ්ඩුව බොරු හාල් ප්‍රශ්ණ මතුකරමින්, විපක්ෂයට චෝදනා කරමින් සිටින්ගේ තමන් ආරම්භ කළ සෑම කාර්යයක්ම ලත් තැනම ලොප් වී ඇති පසුබිමකය.
ඇත්තටම හාල් ටික දෙන්නට බැරි ආණ්ඩුව, හාල් කියා ගන්නට බැරි ජනතාවකට, විපක්ෂය තුළ හාල් ප්‍රශ්ණ නිර්මාණය කරමින් මේ කරන නාට්‍ය රඟ දැක්වීම නම් සැබවින්ම විහිළු සහගතය.