හය මසක් ඇතුළත ජනපති ඡන්ද ලක්ෂ 23ක් අහිමි කර ගනී

61%ක් ව පැවති ඡන්ද පදනම 43% ට බසී විපක්ෂ නායක සිය ඡන්ද පදනම තුන් ලක්ෂයකින් වැඩි කර ගනී 17%ක් ව පැවති සජබයේ ඡන්ද ප්‍රතිශතය 21% ට නගියි පොහොට්ටුව සිය ඡන්ද පදනම හය ලක්ෂයකින් වැඩි කර ගනී 3%ක් ව පැවති…
61%ක් ව පැවති ඡන්ද පදනම 43% ට බසී
විපක්ෂ නායක සිය ඡන්ද පදනම තුන් ලක්ෂයකින් වැඩි කර ගනී
17%ක් ව පැවති සජබයේ ඡන්ද ප්‍රතිශතය 21% ට නගියි
පොහොට්ටුව සිය ඡන්ද පදනම හය ලක්ෂයකින් වැඩි කර ගනී
3%ක් ව පැවති ඡන්ද ප්‍රතිශතය 9% දක්වා වැඩි කර ගනී
සර්ව ජන බලය සිය ඡන්ද පදනම ලක්ෂයකින් වැඩි කර ගනී
2024 මහා මැතිවරණයට සාපේක්ෂව ජාතික ජන බලවේගය 2025 පළාත් පාලන මැතිවරණයේ දී සිය ඡන්ද පදනමෙන් විසි තුන් ලක්ෂ පනස් නව දහස් දෙසිය පනස් හයක් (2,359,256) අහිමි කර ගෙන තිබේ.
2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය (NPP) ඡන්ද 4,503,930ක් (43.26%) ලබා ගනිමින් ශ්‍රී ලංකාව පුරා ආසන 3927ක් දිනා ගැනීමට සමත් වී සිටියි. නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව, ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 266ක් ඉදිරියෙන් සිටින අතර, ඊට මහ නගර සභා 23ක්, නගර සභා 26ක් සහ ප්‍රාදේශීය සභා 217ක් ඇතුළත් වේ.
කෙසේ නමුත් 2024 නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබා ගත් අතර, එම ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 61.56%ක් වන අතර පළාත් පාලන මැතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියේ, මේ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය 70% ට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවය.
දැන්වීම
කෙසේ නමුත් අවසානයේ දී සිදුව ඇත්තේ ජාතික ජන බලවේගය මහා මැතිවරණයට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණයේ දී සිය ඡන්ද පදනමෙන් ඡන්ද විසි තුන් ලක්ෂ පනස් නව දහස් දෙසියපනස් හයක් (2,359,256) ඡන්ද අහිමි කර ගනිමින් 43%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කිරීමය.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද 2,258,480ක් (21.69%) සහ ආසන 1767ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටින අතර ඊට නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා 11ක් ඇතුළත් වේ.
2024 මහා මැතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද ප්‍රමාණය 1,968,716ක් වන අතර එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 17.66%කි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ගෙවුණු හය මස ඇතුළත දී සිය ඡන්ද පදනම දෙලක්ෂ අසූ නව දහස් හත් සිය හැට හතරකින් (289,764ක්) වැඩි කර ගෙන තිබේ.
2024 මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාගේ ජාතික සංවිධායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබා ගැනීමට සමත් වූ අතර,එම සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් 3.14%කි. කෙසේ නමුත් 2025 පළාත් පාලන මැතිවරණයේදී එම පෙරමුණ ඡන්ද 954,517ක් ලබා ගත් අතර එම අගය ප්‍රතිශතයක් ලෙස 9.17%කි. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී සිය ඡන්ද පදනම 604,088කින් වැඩි කර ගෙන තිබේ.
සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර මහතාට 2024 මහ මැතිවරණයේදී ලබා ගත හැකි වූයේ ඡන්ද 178,006ක් පමණක් වන අතර එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1.6%කි. කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයේදී ඔහුගේ [පක්ෂය ලබා ගෙන ඇත්තේ ඡන්ද 294,681ක් පමණි. එම ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2.83%කි. ඒ අනුව මෙවර දිලිත් ජයවීර මහතාගේ පක්ෂය සිය ඡන්ද පදනම 116,675කින් වැඩි කර ගෙන තිබේ.