අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“හමුදාව දුර්වල කරන්න චක‍්‍රලේඛ තුනක් ගහලා”

“හමුදාව දුර්වල කරන්න චක‍්‍රලේඛ තුනක් ගහලා”

(සුමුදු පෙරේරා) ශ‍්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වල කර දුර්මුඛ කෙරෙන චක‍්‍ර ලේඛ තුනක් නිකුත්ව ඇති බවත් එමගින් ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදයක් පැරදවීමට නායකත්වය දුන් යුද විරුවන් රැසක් විශ‍්‍රාම…

(සුමුදු පෙරේරා)

ශ‍්‍රී ලංකා යුද හමුදාව තවදුරටත් දුර්වල කර දුර්මුඛ කෙරෙන චක‍්‍ර ලේඛ තුනක් නිකුත්ව ඇති බවත් එමගින් ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදයක් පැරදවීමට නායකත්වය දුන් යුද විරුවන් රැසක් විශ‍්‍රාම ගැන්වෙනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටියි.

කොළඹ ජාතික නිදහස් පෙරමුණේ මුලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

මීට සති දෙකකට ඉහතදී අපි ඔබට අනාවරණය කර සිටියා ශ‍්‍රී ලංකා යුද හමුදාව 25%කින් කප්පාදු කිරීමට යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී නිකුත් කළ නියෝගය පිළිබඳව. එමගින් යුද හමුදාවේ බල ඇණි 33ක්,නිලධාරී තනතුරු 938ක් හා සෙසු නිලයන් 23,266ක් කප්පාදු කිරීමට නියෝග කර තිබුණා. ඉහත කී බල ඇණි 33 කප්පාදු කිරීමේදී ඒවාට අයත් කඳවුරු 100කට ආසන්න ප‍්‍රමාණයක් ඉබේම ඉවත් කිරීමට සිදු වෙනවා. ඒ අනුව උතුරේ යුද උපායිකව ඉතා වැදගත් කඳවුරු 100ක් ඉවත් කෙරෙනවා.

       පොදු සමාව වෙනුවට විශ‍්‍රාම ගැන්වීම

එම නියෝගය සේම යුද හමුදාව පරිපාලනමය ක‍්‍රමවේද ඔස්සේ දුර්වල කෙරෙන තවත් යුද හමුදා චක‍්‍ර ලේඛ තුනක් පිළිබඳවයි අද අප රට හමුවේ තබන්නේ. 2016 ජුනි 29 වැනිදා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් එන්. ජේ. වල්ගම විසින් නිකුත් කොට ඇති නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීම යන චක‍්‍ර ලේඛය ඒ අතර වන පළමුවැන්නයි.

මෙහිදී තමන්ට හිමි නිවාඩු අවසන්ව ගොස් දින 14 ඉක්මවා නිවාඩු ගන්නා නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීමට නියෝග කර තිබෙනවා. යුද සමයේත් මේ චක‍්‍ර ලේඛය නිකුත් කිරීමට පෙරත් සිදු වූයේ නිවාඩු නොලබා නොපැමිණි නිලධාරීන් පොදු සමා කාලයක් ලබා දී ගෙන්වා ගෙන වෙනත් ද`ඩුවම්වලට ලක් කර නැවත සක‍්‍රිය හමුදා සේවයට එක්කර ගැනීමයි.නමුත් දැන් සේවයෙන් විශ‍්‍රාම ගැන්වීමට පියවර ගැනෙනවා. මේ යටතේ විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරින් 100කට ආසන්න පිරිසක් විශ‍්‍රාම ගැන්වීමට නියමිතයි.

       අණදෙන නිලධාරී වරම් අහිමියි

දෙවැන්න තමයි 2016 ජුනි 10 වැනිදා නිකුත් කළ අණදෙන නිලධාරියකු ලෙස සුදුසුකම්  ලැබීමේ උපරිම වයස් සීමාව අවුරුදු 45 කිරීම. දැනට කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 24යි. ඔහු පුහුණව ලබා අධිකාරීලත් නිලධාරියකු බවට පත්ව වසර 22ක් සම්පූර්ණ කළ පසුව තමයි අණදෙන නිලධාරියකු ලෙස ඉල්ලූම් කිරීමට සුදුසුකම් ලබන්නේ.

නමුත් මෙසේ අවුරුදු 45ක උපරිම වයස් සීමාවක් දැම්මාම අවුරුදු 23-24න් හමුදාවට බැඳුණු කිසිදු නිලධාරියකුට අණදෙන නිලධාරියකු බවට පත් වීමට නොහැකි වෙනවා.

එසේ මෙමගින් අණදෙන නිලධාරියකු බවට පත්වීමට නොහැකි වන නිලධාරියකුට හමුදාව තුළ ඊළග උසස්වීම ද අහිමි වෙනවා. නිදසුනක් ලෙස අවුරුදු 45 ඉක්ම වූ මේජර්වරයකුට අණදෙන නිලධාරි තනතුර විතරක් නොවෙයි ඊළග උසස්වීම වන ලුතිනන් කර්නල් තනතුර ද ඉන් එහාට තිබෙන උසස්වීම් ද අහිමි වෙනවා.

මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස මානුෂික මෙහෙයුමේදී සුවිශාල සේවයක් කළ වයස 45 ඉක්මවූ මේජර් නිලය දරන නිලධාරීන් සෑහෙන පිරිසක් අණදෙන නිලධාරී තනතුර මෙන්ම ඊළ`ග උසස්වීම ද අහිමිව කලකිරීමට පත් වෙනවා. ඊළගට ඔවුන් අවුරුදු 22ක සේවා කාලයක් සම්පූර්ණ කර විශ‍්‍රාම යාවි. එමගින් හමුදාවට ක්‍ෂෙත‍්‍රයේ අත්දැකීම් බහුල දක්‍ෂ නිලධාරීන් රැසක් අහිමි වේවි.

එක වරදට දඩුවම් දෙකක්

තුන්වන චක‍්‍ර ලේඛය තමයි නිලධාරීන්ගේ පෙර වැරදි සමාලෝචනය කර යළි දඩුවම් කිරීම. යම් නිලධාරියකු යුද්ධ හමුදා පනත යටතේ යම් වරදක් සිදු කර තිබුණා නම් ඊට ඔහු දඩුවම් ලබා තිබුණත් එම දඩුවම් යළි සමාලෝචනය කර යළි දඩුවම් ලබා දීම මේ මගින් සිදු කෙරෙනවා. මේ යටතේත් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය ගණනක් විශ‍්‍රාම ගැන්වීමට නියමිතයි.

මේ සියල්ලෙන් පෙනී යන්නේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ අපේ රණවිරුවන්ට ඉර හඳ යට තිබෙන කවර දඩුවමක් හෝ ලබා දී හමුදාවෙන් විශ‍්‍රාම ගන්වා ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදය පරදවා ජය ලැබූ හමුදාවක් නිකම්ම නිකම් ප‍්‍රදර්ශනාත්මක හමුදාවක් බවට පත් කිරීමටයි.

මේ සියල්ල සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ මංගල සමරවීර ඇමතිවරයා සම අනුග‍්‍රාහකත්වය ලබා දුන් 30/1 යෝජනාවලියට අනුවයි.

එහි සඳහන්ව ඇති පරිපාලනමය ක‍්‍රමවේද මගින් මානුෂික මෙහෙයුමට දායක වූ මෙරට හමුදා නිලධාරීන්ට දඩුවම් ලබා දී මෙරට හමුදාව දුර්වල කොට දුර්මුඛ කිරීමයි මේ සිදු වන්නේ.

       හිතේ අමාරුවට කීව කතාවක් නොවෙයි

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමපු මේ ආණ්ඩුව යුද ජයග‍්‍රහණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ කොමදෝරු ඞී.පී.කේ. දසනායක ලුතිනන් කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් හිරේ දමා ගෙන සිටිනවා.

යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද ඉන්නේ හිරේ. මේ විදියට බුද්ධි අංශ හිරේ දමා හමුදාව දුර්වල කර දුර්මුඛ කරන මේ ආණ්ඩුව දැන්කොටියට   ඕන නැගිටින යුගය නිර්මාණය කර දී අවසන්.

අද එජාප පාර්ලිමේන්තු මන්ති‍්‍රනී විජයකලා මහේෂ්වරන්ට එල්ටීටීඊය යළි ගොඩනගන්න ඕනෑ කියා ප‍්‍ර‍්‍රසිද්ධියේ කීමට තරම් හයියක් ලැබී තිබෙනවා. උතුරෙන් කොටි නිල ඇඳුම් ආයුධ හමු වෙමින් තිබෙනවා. බුද්ධි අංශ සහ අපේ ආරක්‍ෂක හමුදා දුර්වල වන විට බෙදුම්වාදීන් යළි තම අරමුණ වෙනුවෙන් වේගයෙන් ක‍්‍රියාත්මක වන ආකාරයයි මේ පෙනෙන්නේ.

මේ තත්වය හැකි ඉක්මනින් වෙනස් කිරීමට රණවිරුවන් ලබා දුන් නිදහසින් ඵල ලබන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් අත්වැල් බැඳගත යුතුයි.

මෙම මාධ්‍ය හමුවට සීතාවක ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී චන්දන ලියනගේ සහ බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර රොෂාන් රාජිත යන මහත්වරු ද එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
“හමුදාව දුර්වල කරන්න චක‍්‍රලේඛ තුනක් ගහලා” | Lanka Newsweek