හමුදාපතිගේ තොරතුරු ගැන ජනතාවට විශ්වාසයක් නැහැ

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබා දෙන තොරතුරු සහ දත්ත පිළිබඳව ජනතාව තව දුරටත් විශ්වාස නොකරන තත්ත්වයක් උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.…
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලබා දෙන තොරතුරු සහ දත්ත පිළිබඳව ජනතාව තව දුරටත් විශ්වාස නොකරන තත්ත්වයක් උදා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී බදාදා (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව පැවැසූ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
"සමාජයේ බිඳ වැටී තිබෙන දත්ත සහ තොරතුරු පිළිබඳව යළි විශ්වසනීයත්වය ගොඩනගන්න ඕනෑ. ඒ විශ්වසනීයත්වය බිඳ වැටීම පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා දෙන ලද දත්ත තොරතුරු පිළිබඳව ජනතාව විශ්වාස නොකරන තත්ත්වයකට පත්වී තිබෙනවා.
ඊළඟට ආණ්ඩුව ලබා දෙන තීන්දු-තීරණ පැහැදිලිව නිශ්චිතව කෙනෙක් හෝ දෙදෙනෙක් ලබා දිය යුතුයි. අද ලබා දෙන තීන්දු-තීරණ පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව විවිධ ප්‍රකාශ කරනවා. සංචරණ සීමාවන් පිළිබඳව පසුගියදා මාධ්‍ය හමුව පැවැත් වූයේ හමුදාපතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සංචාරක අමාත්‍යවරයා සහ මහා මාර්ග අමාත්‍යවරයා විසිනුයි. ඒ ක්‍ෂේත්‍රය පිළිබඳව වග කිව යුතු කිසිදු නිලධාරියෙක් සහභාගි කර වූයේ නැහැ. නිරෝධායන නීති පිළිබඳව නිසි බලධාරියා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. හැබැයි ඒ වැනි නිලධාරීන් ප්‍රධාන තීන්දු-තීරණවලදී සහභාගි කර ගන්නේ නැහැ. නිරෝධායනය නීති ලිහිල් කිරීමේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධයෙන් තීන්දුවල විශාල ව්‍යාකූලත්වයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යළි විශ්වාසනීයත්වය ගොඩනගා ගත යුතුයි."