අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සුනිල් පෙරේරාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක්

සුනිල් පෙරේරාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක්

ප්‍රජාතන්ත්‍රවාදය-යුක්තිය-සාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටියා අධිපති වාදය ප්‍රතික්ෂේප කළා කලාකරුවෙකු පමණක් නොව අදීන පුරවැසියෙකු ද වුණා රට-ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ පටු පරමාර්ථවලින් තොරවයි (නිලන්ති…

ප්‍රජාතන්ත්‍රවාදය-යුක්තිය-සාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටියා 

අධිපති වාදය ප්‍රතික්ෂේප කළා 

කලාකරුවෙකු පමණක් නොව අදීන පුරවැසියෙකු ද වුණා 

රට-ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ පටු පරමාර්ථවලින් තොරවයි

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන) 

මානව හිතවාදියෙකු වූ සුනිල් පෙරේරා කලාකරුවාගේ අභාවය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමස්ත සමාජයටම සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ප්‍රවීන ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

සුනිල් පෙරේරා කලාකරුවාගේ අභාවය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමස්ත සමාජයටම සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි. ජනකාන්ත ගායකයකු වූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා කලාකරුවාණන් අභාවයට පත් වූ පුවත අසන්නට ලැබීමෙන් මම ඉතාමත් සංවේගයට පත්වීමි. 

දැන්වීම

සුනිල් පෙරේරා මහතා මේ රටේ සුවහසක් ජනතාවගේ ආදරය සහ ගෞරවය දිනා ගත් සංගීතවේදියෙකු වූවා පමණක් නොවීය. ඔහු හෘදසාක්ෂියට අනුගතව තමන් විශ්වාසය කළ දර්ශනය හා සහබද්ධ වූ ප්‍රතිපත්ති වෙනුවෙන් ඍජුවම පෙනී සිටි අදීන පුරවැසියෙක් විය. පුහුදුන් මිනිසා විසින් නිර්මාණය කර ගත් පටු සීමාවන් ඔහු සැම විටම පිළිකෙව් කළේය. සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ සත්‍යගරුක භාවය වෙනුවෙන් ඔහු නිබඳවම පෙනී සිටියේය. ඒ නිසාම ඔහු සෑම වර්ගයකම අධිපතිවාදයන්ට එරෙහිව නිරතුරුවම නැඟී සිටියේය. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ සුනිල් පෙරේරා මහතා ප්‍රථමයෙන්ම මා හඳුනා ගත්තේ ගාමිණී වියන්ගොඩ මහතාගේ මැදිහත්වීමකිනි. එතැන් සිට ඔහු අපගේ සෑම කර්තව්‍යකදීම උපරිම සහය දැක් වූයේ මේ රටේ අනාගතය වඩා යහපත් කරවීම උදෙසා ඔහු තුළ පැවැති අවංක වූ අපේක්ෂාවන් පෙරටු කර ගෙනය. කිසිදු පටු පරමාර්ථයකින් තොරවය. 

සැබැවින්ම ඔහු වගකීම් සහගත පුරවැසියෙකු විය. එවැන්නන් තව තවත් මේ රටට අවශ්‍ය වූ මොහොතක ඔහුගේ නික්ම යෑම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මුළුමහත් සමාජයටම වූ බලවත් පාඩුවක් ලෙස සලකමි. සුනිල් පෙරේරා මහතාගේ අභාවයෙන් ශෝකයට පත්ව සිටින ඔහුගේ දයාබර මැතිනියට ද, දූදරුවන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනා වෙතට ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ බලවත් සංවේගය පළ කරන අතර එතුමාට සගමොක් සුව අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සුනිල් පෙරේරාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක් | Lanka Newsweek