අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සිය පැවැත්ම වෙනුවෙන් රජය කරන්නේ දැනුම මොට කිරීමයි

සිය පැවැත්ම වෙනුවෙන් රජය කරන්නේ දැනුම මොට කිරීමයි

දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයකින් රට දියුණු කරන්න රජයට අවශ්‍ය නැහැ සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට නම් දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම,…

දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයකින් රට දියුණු කරන්න රජයට අවශ්‍ය නැහැ  

සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි 

වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට නම් දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම, උගත්කම සහ බුද්ධිය කේන්ද්‍ර කර ගෙන මේ වැටි සිටින ප්‍රපාතයෙන් ගොඩ ආ යුතු වුවත් අද ක්‍රියාත්මක වන්නේ ඒ දැනුම, උගත්කම සහ බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.

ඒ  දැනුම, උගත්කම සහ බුද්ධිය විනාශ කරන, ක්ෂය කරන සහ ශූන්‍ය කරන රාජ්‍ය පාලන මේ වන විට රටේ උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කර ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

වත්මන් රජය උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන කපා, පහසුකම් රහිතව විශ්ව විද්‍යාලවලට සිසුන් බදවා ගැනීම වැඩි කර ඇති බවත් ඊට අමතරව කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ප්‍රමුඛ මේ රටේ වෘත්තීයවේදීන්ගේ වැටුපට අධික බදු බරක් පටවා බුද්ධි ගලනය ප්‍රවර්ධනය කරන බවත් බුද්ධිය සහිත ඒ උගතුන් බුද්ධිමතුන් රදවා ගැනීම නොව ඒ අයට රට එපා කරවා රටින් එලවීමේ රාජ්‍ය ක්‍රමවේදයක් රටේ ක්‍රියාත්මක බවත් විපක්ෂනායකවරයා කියා සිටියි.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශ්ව විද්‍යාල පද්ධතියේ ගැටලු සම්බන්ධයෙන් සිදු කළ කතාවේදීය.

2018 වසරේ 30000ක්, 2022 වන විට 45000ක් සහ 2023 වසරේ 59000ක් විශ්ව විද්‍යාල සදහා බදවා ගැනීමට නියමිත වුවත් පහසුකම් වැඩි නොවී ඇති බවත් විශ්ව විද්‍යාලවල ඇති මානව සම්පත සහ භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බවත් මෙවැනි සිසුන් ප්‍රමාණයක් සදහා ප්‍රායෝගිකව කථිකාචාර්යවරුන් 6200ක් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එසේම සිටින කථිකාචාර්යවරුන්ගෙන් 700ත් 800ත් අතර ප්‍රමාණයක් රැකියාවෙන් ඉවත් වී ඇති බවත්, 200ත් 300ත් අතර ප්‍රමාණයක් නිවාඩු ගොස් ඇති බවත්, තවත් පිරිසක් විදේශීය පුහුණුවීම් ගොස් ඇති බවත්, 12900ක් සිටිය යුතු තැන සිටින්නේ 5900ක් බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළේය.

මේ හිඟ ප්‍රමාණයට බාහිර කථිකාචාර්යවරුන් බදවා ගැනීමට අවශ්‍ය වුවත් රජය ඒ සදහා මුදල් වෙන් නොකරන බවත් මෙසේ කථිකාචාර්යවරුන් බදවා ගැනීමේ දි බරපතළ වැටුප් විෂමතා රැසක් ඇති බවත් බුද්ධිය කේන්ද්‍ර කර ගත් ආර්ථිකය ගොඩ නගන්න අපි හැමෝම එකට එකතු වී කටයුතු කළ යුතු වුවත් රජය ඊට පරස්පර ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කළේය.

තව ද ජනාධිපති මේ සදහා මාස 6ක විසදුමක් ලබා දෙන පැවසුවත් එය බොරුවක් වී ඇති බවත් මේ පචකාර ජනතාව අන්දවන මේ රාජ්‍ය පාලනයෙන් රටට සෙතක් නොවන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය බදු පැනවීමෙන් අපේක්ෂිත බිලියන 100ක ආදායම 110 දක්වා වැඩි වී ඇති බවත්, මෙවැනි බදු ආදායම් ඉක්මවා ගියත් රජය තවමත් මෙම බදු පැනවීම අහෝසි කිරිමට හෝ තීරණය කර නොමැති බවත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සිය පැවැත්ම වෙනුවෙන් රජය කරන්නේ දැනුම මොට කිරීමයි | Lanka Newsweek