සා:පෙළ දරුවා දියේ ගිලී මරුට
(ජයකාන්ත ලියනගේ) “ගෙදර ටී.වී එකේ ඇන්ටනාවට ලීයක් කපන්න මම කැලේට යන විට අයියා ගල් වලේ නාන්න කලිසමක් අරන් ආවා. මම පොඩි ගල් වලේ නාමු කිව්වාම, පොඩි වලේ නාලා ආතල් එකක් නැහැ කියලා ලොකු ගල් වලේ නාමු කිව්වා.…
(ජයකාන්ත ලියනගේ)
“ගෙදර ටී.වී එකේ ඇන්ටනාවට ලීයක් කපන්න මම කැලේට යන විට අයියා ගල් වලේ නාන්න කලිසමක් අරන් ආවා. මම පොඩි ගල් වලේ නාමු කිව්වාම, පොඩි වලේ නාලා ආතල් එකක් නැහැ කියලා ලොකු ගල් වලේ නාමු කිව්වා. පස්සේ අයියා ගල් වල වටේ යන විට පස් කණ්ඩිය කඩා ගෙන ගල් වලට වැටුණා”.
අනාරක්ෂිත ගල් වලක දිය නෑමට ගොස් මරු මුවට පත් දහසය හැවිරිදි පාසැල් සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් ගාල්ල, බළපිටිය මූලික රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මිය ගිය අයගේ බාල සොහොයුරු වන ඩබ්ලිව් ජී ප‍්‍රමෝද් කුමාර (12) සිසුවා එසේ පැවසීය.
දැන්වීම
මෙසේ මිය ගොස් ඇත්තේ මෙවර අපොස (සා.පෙළ)විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මීටියාගොඩ, කිරිදිවැල පදිංචි ඩබ්ලිව් ජී රුවන් චින්තක (16) නැමැති සිසුවා වන අතර ඔහු කහව, වෙහෙරගොඩ විජයබා විදුහලේ 11 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
මීටියාගොඩ හදිසි මරණ පරීක්ෂක එච් ඩබ්ලිව් ගුණසීලී මහත්මිය විසින් බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණය ඉදිරියේ තව දුරටත් සාක්ෂි දුන් ඩබ්ලිව් ජී ප‍්‍රමෝද් කුමාර (12) සිසුවා මෙසේද කීය.
“ලොකු ගල් වල ගැඹුරු නිසා පොඩි ගල් වලේ නාමු කියල මම කිව්වා. නමුත් ඒක අයියා ඇහුවේ නැහැ. ලොකු ගල් වලේ නාන්න අයියා ගල් වල වටේ යන විට පස් කණ්ඩිය කඩා ගෙන වලට වැටුණා. දියේ ගිලූණ අයියා උඩට එන විට ඇන්ටනාවට කපා ගෙන ආ ලීය දුන්නත් අයියාට අල්ලා ගන්න බැරි වුණා. දෙවැනි සැරේ උඩට ඇවිත් අත වනා ආයේ යටට ගියා. ඊලගට උඩට ආවේ කකුල් දෙක විතරයි. පස්සේ මම ගෙදර ගිහින් අයියා ගල් වලේ ගිලූණා කියල අම්මට කිව්වා”
මිය ගිය අයගේ පියා වන සරත් වීරප්පෙරුම (65) සාක්ෂි දෙමින් මෙසේ කීය.
“මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ගල් වලේ දිය නෑමට ගොස් මිය ගියේ හතර වන දරුවයි. සිද්ධිය වූ දවසේ මම කුරුඳු තැලීමට ගොස් සිටියා. මගේ මිතුරෙක් ඇවිත් කිව්වා පුතා ගල් වලේ දිය නෑමට ගොස් ගිලිලා කියල. ගමේ තරුණයින් කීප දෙනෙක් ගල් වලට බැස සෙව්වත් පුතා සොයා ගන්න බැරි වුණා. පසුව බැකෝ යන්ත‍්‍රයක් ගෙනවිත් ගල් වලේ පස් කණ්ඩිය කඩා වතුර ඉවත් කිරීමෙන් පසුව පුතා සොයා ගත්තා. එවේලෙම පුතා බළපිටිය මූලික රෝහලට ගෙන ගියත් මිය ගොස් සිටියා.
බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් සිල්වා මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මීටියාගොඩ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නෙවිල් මහතා සාක්ෂි මෙහෙය වීය. හෙළි වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාව අනුව දියේ ගිලී හුස්ම හිර වීමෙන් මරණය සිදුව තිබෙන බව හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේය .