ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ජේ.සී හෙට වැඩ භාර ගනී..!

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හෙට (02) උදේ සුභ මොහොතින් වැඩ භාර ගැනීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ මාවතගම ආසන සංවිධායකවරයා ලෙස…
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හෙට (02) උදේ සුභ මොහොතින් වැඩ භාර ගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ මාවතගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ජේ.සී. අලවතුවල මහතා කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙසද කටයුතු කරන අතර ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකරයා ද වෙයි.
හැටේ දසකයේ එක්සත් ජාතික පක්ෂයේ දොඩංගස්ලන්ද ආසන සංවිධායකවරයා ලෙස පත්ව දිගු කලක් තිස්සේ කටයුතු කළ හිටපු මහා මාර්ග, නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයකුද වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථාපවත් දේශපාලන නායකයකු වූ දිවංගත එස්.ඩබ්ලිව්. අලවතුවල මහතාගේ පුත්‍රයා වන ජේ.සී. අලවතුවල මහතා දේශපාලනයට පිවිසෙන්නේ 1991 වසරේ දී ය.
දැන්වීම
සිය පියාගෙන් පසු දොඩංගස්ලන්ද ආසන සංවිධායකවරයා ලෙස පත් වූ ඒ මහතා 1991 දී පැවැති පළාත් පාලන මැතිවරණයේ දී තම ආසනයේ ජය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙමින් වැඩිම මනාපයෙන් රිදීගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් විය.
ප්‍රාදේශීය සභා සභාපති ධුරයේ සිටිමින් 1993 පැවැති පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ජේ සී අලවතුවල මහතා එම මැතිවරණය ජය ගන්නේ නවක පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස වයඹ පළාත් සභාවට තේරී පත් වෙමිනි.
පළාත් සභාවේදී සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසි පරිදි ඉටු කරමින් කටයුතු කළ නිසාම ජේ සී අලවතුවල මහතාට පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස දිගු කලක් සිටීමට අවස්ථාවක් නොලැබුණේ 1994 දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් දොඩංගස්ලන්ද ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ නිසාය.
ප්‍රාදේශීය දේශපාලනයෙන් පන්නරය ලබා ඉතා කෙටි කලකින් ජාතික දේශපාලනයට පිවිසි ඒ මහතා 1994 සිට 2000 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව 2005 වසරේදී දොඩංගස්ලන්ද ආසනයේ සිට හිරියාල ආසනය වෙත පැමිණි ජේ සී අලවතුවල මහතා එහි සංවිධායක ධුරය භාර ගනිමින් එම වසරේ දී පැවැති ජනාධිපතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයගත් එකම ආසනය ලෙස හිරියාල ආසනය ජයග්‍රහණය කර පක්ෂ නායකත්වයේ විශ්වසනීයත්වය ආරක්ෂා කළේය.
පුරා වසර නවයක් මුළුල්ලේ ජේ සී අලවතුවල මහතා හිරියාල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
අනතුරුව 2013 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් ජය ලැබූ ඔහු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් කළ ඉල්ලීමකට අනුව 2014 දී මාවතගම ආසන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය නව මානයකින් ආරම්භ කළේය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් දිගු කලක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට නොහැකිව තිබූ මාවතගම ආසනය 2015 ජනවාරි 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කිරීමට හැකි විය.
එම ජයග්‍රහණය සඳහා සූදානම් වීමට ඉතිරිව තිබුණේ ඉතා කෙටි කාලයක් වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හංසයා ලකුණට ජයග්‍රණය කිරීමට හැකි වූයේ මාවතගම සහ කුරුණෑගල යන ආසන දෙක පමණක්වීම ද විශේෂත්වයක් විය.
අනතුරුව 2015 අගොස්තු 17 වැනිදා පැවැති පාර්මේන්තු මැතිවරණයෙන් මනාප 106,061ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වූ ජේ සී අලවතුවල මහතා මාවතගම ආසනය ද ජයග්‍රහණය කළේය.
එතැන් සිට මාවතගම ආසනයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ක්‍රියා කළ ජේ සී අලවතුවල මහතා මේ වන විට ලක්ෂ අසූ දහසකට අධික මූල්‍ය ප්‍රතිපාදන ලබා ගනිමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති, පානීය ජය යෝජනා ක්‍රම, ඉදිකිරීම් ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් නිම කර අවසන් ය.
ජේ.සී. අලවතුවල පදනමේ ඔස්සේ තවත් සමාජ සත්කාරක වැඩ සටහන් රැසක් ඔහු ක්‍රියාත්මක කරමින් සිටින අතර එම පදනමේ සම සභාපතිනිය ලෙස ක්‍රියා කරන්නේ ඔහුගේ භාර්යාව වන අංජානී අලවතුවල මහත්මියය.
අංජානී අලවතුවල මහත්මිය කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකු වූ වින්සන්ට් පෙරේරා මහතාගේ දියණිය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතාගේ නැඟණියද වෙයි.