අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හොඳ ප්‍රවේශයක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හොඳ ප්‍රවේශයක්

(මහාචාර්ය ටියුඩර් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලි මණ්ඩපය) ණය ගැනීමෙන් අර්බුදය උග්‍ර වෙනවා අපේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිෂ්ඨාපනය කර ගත යුතුයි රුසියාව අපට ශක්තියක් මෙරට මහ ජනයා වීදි බැස මහා…

(මහාචාර්ය ටියුඩර් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලි මණ්ඩපය)

ණය ගැනීමෙන් අර්බුදය උග්‍ර වෙනවා


අපේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රතිෂ්ඨාපනය කර ගත යුතුයි


රුසියාව අපට ශක්තියක්


මෙරට මහ ජනයා වීදි බැස මහා අරගලයක යෙදී සිටිති. ජනතාවට එල්ල වුණු විදුලි කප්පාදුව, ඉන්ධන හිඟකම, ගෑස් ප්‍රශ්නය, රුපියලේ අගය පහළ යෑම ඇතුළු ආර්ථික ගැටලු ඊට පෙනෙන පැහැදිලි හේතු කාරණා වේ. ඓතිහාසිකව ගොඩනැඟුණු කරුණු මෙන්ම විදෙස් ණය ගැනීම අර්බුදය තව දුරටත් තීව්‍ර කරන්නේ කෙසේද හා කාලීනව දේශපාලන වශයෙන් ඉදිරියේදී අප ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

l ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන්න බල කළ ජන අරගලය ඔබ දකින්නේ කෙසේද?

මෙය එක පාරටම මතු වුණු ප්‍රශ්නයක් නෙවෙයි. මීට අවශ්‍ය කොන්දේසි සහ සාධක දිගු කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් තිබුණා. පසුගිය වසර 40ක් තිස්සේ මූලික වශයෙන් අප ක්‍රියාත්මක කරපු ආර්ථික කොන්දේසිය මීට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. අද අපිට මුහුණපාන්නට සිදු වෙලා තියෙන ආර්ථික සහ දේශපාලන, සමාජ සංස්කෘතික රටාව, නිර්මාණය වූයේ විවෘත ආර්ථිකය යැයි හඳුන්වපු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහටයි. අපිට ජාතික වශයෙන් හා නිෂ්පාදන ආර්ථිකයක් අත්පත් කරගන්නට තිබුණ තත්ත්වයන් අපට අත්පත් කරගන්නට නොහැකි වෙලා තිබෙනවා. ඒ ලිබරල්වාදී ආකෘතිය වැඩ කෙළේ අපට ආවේණික ස්වදේශීය ආකෘතියකට වඩා බටහිර විදේශීය සහ ඒ වගේම බහුජාතික සමාගම්වල වුවමනාවල් තමයි එම ප්‍රතිපත්තිවලින් නියෝජනය වුණේ. එක් පැත්තකින් මේවා මේ විදියට වර්ධනය වෙමින් පැවතුණු අතර කොරෝනා සාධකය තුළ එය තවත් උත්සන්න වුණා. වර්තමානයේ පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ එය අන් කවරදාටත් වඩා උත්සන්න වීමේ ස්වභාවයක් දක්නට ලැබෙනවා. මෙය හැම ක්ෂේත්‍රයකටම බලපානවා. දැන් මේ ප්‍රතිවිරෝධතාවන් උත්සන්න අවස්ථාවකට ඇවිල්ලා, අවසාන වශයෙන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වයකට එන්න මාර්ගය විවර වුණා.

දැන්වීම

තෙල්, ගෑස් ප්‍රශ්නය, බඩු මිල අඛණ්ඩව ඉහළ යෑම ආදි තත්ත්වයන් නිර්මාණය වුණා. ඉතිහාසයේ මීට කලිනුත් මේ වගේ දේවල් සිද්ධ වුණත් මෙතරම් දරුණු ආකාරයට ආර්ථික හා සමාජ අර්බුදයක් බවට පත් වෙලා තිබුනේ නැහැ. එවැනි අවස්ථාවක් ඇති වුණ ප්‍රථම අවස්ථාව මෙය කියලා හදුන්වන්න පුලුවන්. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මිනිස්සුන්ට වීදි බහින්න සිද්ධ වුණේ.

මීට මාස තුනකට පමණ පෙර සිට ගාලුමුවදොර පිටියේ ස්ථානගත කර ගත් අරගලකරුවන් එය මූලික වශයෙන් දේශපාලන ක්‍රියාවලියක් බවට පත් කරගනිමින් රාජ්‍ය පාලකයින්ට, රාජ්‍ය ක්‍රියාකාරීත්වයන්ට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන කියන තැනට ආවා. මේ තත්ත්වයේ දෙවැනි අදියර විදිහට මේ දවස්වල ඇති තත්වය නිර්මාණය වෙලා තියෙනවා.

විශේෂයෙන්ම සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් විදිහට පදනම් කරගනිමින් සිය විරෝධතාවය ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇතුළු ආණ්ඩුවට එරෙහිව දියත් කළා. එම නිසා දැන් දේශපාලන වශයෙන් සුවිසල් අස්ථාවරත්වයක් ජාතික මට්ටමෙන් ඇති වෙලා තියෙනවා. එම නිසා තවදුරටත් ජනාධිපතිවරයාට බලතල අහිමි වෙලා තියෙන තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම අගමැතිවරයාටත් තවදුරටත් තමන්ගේ ධුරයේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම මේ වෙන විට ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් ද අස් වෙමින් සිටිනවා. ඒ අනුව රාජ්‍ය තන්ත්‍රයේ විශාල අක්‍රීය තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. එහිදී පළමු කාරණය තමයි, වේගයෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ යෑම. ඊළඟට මිනිසුන්ගේ සමාජ තත්ත්වය වේගයෙන් පහළ යෑම. මෙය අද වන විට අපේ රටේ පමණක් නොව, ලෝකෙ පුරාම වේගෙන් සිදුවන ක්‍රියාවලියක්. එය ලෝක ආර්ථික අර්බුදයත් එක්ක ආ කාරණයක්. තව පැත්තකින් විරැකියාව වර්ධනය වෙමින් පවතිනවා.

පසුගිය වසර කිහිපය තුළ ලෝකයේ ක්‍රියාත්මක වූ ආර්ථික අර්බුදයත් සහ කොවිඩ් 19 සහ පශ්චාත් කොවිඩ් තත්ත්වයේ ප්‍රතිඵලයක් හැටියට ආර්ථිකයේ කුඩා, සුළු, මධ්‍යම හා මහා පරිමාණ නිෂ්පාදන ද බිඳ වැටෙමින් පවතිනවා. ස්වයං රැකියා කළ අයටත් එම තත්ත්වයටම මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙනවා. සමාජයේ ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වෙමින් පවතිනවා. සමාජයේ ඇති, නැති පරතරය අන් කවරදාටවත් වඩා වේගෙන් වර්ධනය වෙලා තියෙනවා. පාලක පන්තිය හා පාලිත පන්තිය වේගයෙන් ඈත් වෙමින් පවතිනවා. එය කොතරම් ප්‍රබලද යත්, පාලකයන්ට මහජනතාවට මුහුණදිය නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. පුරවැසි ආරක්ෂාව වේගයෙන් පහළ ගිහින් තියෙනවා. දේශපාලන කණ්ඩායම්වලටත් මේ වෙලාවේදී පොදු එකඟතාවයකට එන්න නොහැකි වෙලා තියෙනවා.

l දේශපාලන වශයෙන් ඉදිරියේදී අප ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද?

පෙරේදා අරගලය කූටප්‍රාප්තියට ආවා. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගැනීම දක්වා වර්ධනය වෙලා තියෙනවා. සාමාන්‍ය පරිදි කරගෙන ගිය කාරණයන් තවදුරටත් කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු පිරිසට එහි ප්‍රවිෂ්ට විය නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ දේශපාලන අර්බුදය, එක් පැත්තකින් මෙය රාජ්‍ය පාලනය පිළිබඳ අර්බුදයක්. දේශපාලන අර්බුදයක්. ජාතික මට්ටමේ අර්බුදයක්.

මේ වෙලාවේ බහු පාර්ශ්වික අන්තර්වාර පාලනයක් පිළිබඳ කතාබහක් ඇතිවෙලා තියෙනවා. මෙවැනි අර්බුදාත්මක අවස්ථාවක ඉතා සාධනීයව මෙවැනි තත්ත්වයෙන් මඟ හැර යාමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හොඳ ප්‍රවේශයක්. මෙය වඩාත් ප්‍රායෝගික හා ඵලදායී කාරණයක්. ලෝකයේ වෙනත් රටවල මෙවැනි තත්ත්වයක් සිදු වුණාට පස්සේ අනුගමනය කළ ක්‍රමවේද අතර වඩාත් ප්‍රායෝගික හා වඩාත් ඵලදායී ක්‍රමයක් හැටියට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම යන අදහස වැදගත් වෙනවා.

මේ ජනතාවටත්, පාලකයන්ටත් හා විද්වතුන්ටත් පෙනී යනවා මෙය අවස්ථාවට වඩාත් උචිත ප්‍රවේශයක් කියලා. නමුත් ඇතැමුන් මෙයට එතරම් අනුකූලතාවක් නොදක්වන බව පෙනී යනවා. මේය කෙටි කාලීන විසඳුමක්. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ද තියනවා. ඒ වගේම තවත් සමහරු ජනාධිපතිවරණයකට යෑම ආදී කාරණා මතු කරනවා. ඒ වගේම තමා ඇතැමුන්ට තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වීම ගැන කියනවා. නමුත්, මේවා කොතෙක් දුරට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන කාරණ මතුවෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තුළින් අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය කරන වැඩපිළිවෙළකට කියන්න පුළුවන්ද මේ තියෙන යෝජනාත් එක්ක කියන කාරණය මතු වෙනවා. තවත් පැත්තකින් අපි මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්නවලට ඉතාමත්ම ක්ෂණික විසඳුමක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා කියන කාරණයක් මතුවෙනවා. නමුත්, මේ අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම තුළ අපේක්ෂා කරන්නේ ජාතික වශයෙන්ඇතිවෙලා තියෙන දේශපාලන අස්තාවරභාවය හැකි ඉක්මනින් අසාමාන්‍ය තත්ත්වයකට පත් කර ගැනීමයි. ප්‍රධානම කර්තව්‍යය එයයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නත් ජාත්‍යන්තර සහයෝගය හා සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් ඒ ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම මහජනයා පීඩාවට පත්වී තිබෙන ආර්ථික ප්‍රශ්න අතර උද්ධමනය, විදුලි අර්බුදය, තෙල්, ගෑස්, කියන මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න හැකියාවක් තිබිය යුතුයි. මෙය දෙවැනි කාරණාවයි.

තෙවැනි කාරණාව වන්නේ ජාත්‍යන්තර වශයෙන් අපේ මෙතෙක් කල් අනුගමනය කළ ක්‍රමවේදවලින් එතරම් සාර්ථක ප්‍රතිඵල අපට ලැබිලා නැහැ. නමුත් ඉදිරියේ දී ඉතා ඉක්මනින් අපේ විදේශ ප්‍රතිපත්තිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම, අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන දෙයක්. මෙතෙක් කල් අපේ බටහිර කේන්ද්‍රීය අ‍ෙමරිකානු කේන්ද්‍රය විදේශ ප්‍රතිපත්තියක පිහිටියා. ඒ වගේ මීට සමපාත ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම තුළ අර්බුදයෙන් දෙන්ඩ වර්ධනය වීම සිදු වුණා. ඒ නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය වෙනත් ඉසව්, කළාප කරා ප්‍රවේශ කළ යුතුයි. විසි එක් වෙනි සියවස, පසුගිය දසක තුන තුළ අලුත් ලෝක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙතෙක් කල් ලෝකයේ තිබ්බ බල කඳවුරු දෙක බිඳවැටීම, ඒ වගේම ආර්ථිකයෙ යම් යම් තත්වයන් වෙනස් වෙලා තියෙනවා, විවිධ තාක්ෂණික හා තාක්ෂණවේදී ස්වභාවය ඉතා වේගයෙන් ආර්ථිකයට බද්ධ වෙලා තියෙනවා, ඒ වගේම පෙර නොවූ ආකාරයේ කලාපීය බලවතුන් හා ප්‍රවණතා වර්ධනය වෙලා තියෙනවා. මේ ආකාරයට අලුතෙන් මතුවෙලා තියෙන බුහු දේශපාලනික, බුහු ආර්ථික හා සංග්‍රාමික යථාර්ථයන් සරිලන ආකාරයට අපේ විදේශ ප්‍රතිපත්ති අපි ජාතික ප්‍රතිපත්තිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අභියෝගයක් තියෙනවා. මෙය ඉතා වැදගත් වෙනවා මේ අර්බුදයෙන් අපට ගොඩ එන්න. මෙයින් තොරව අපට වෙනත් ක්‍රියාමාර්ගයකට යා හැකියි කියා විශ්වාස කරන්නේ නැහැ.

l දිගින් දිගටම කාලයක් තිස්සේ සිට ජාත්‍යන්තර ණය ගැනීමත් මේ අර්බුදයේ තීව්‍ර වීමට හේතුවක් නේද?

මූලික වශයෙන් ණය ගැනීමේ අභිලාෂයන් සහ ණය ගැනීමේ උත්සාහයක තමා අපි නිරතව සිටින්නේ. ණය ගැනීම තුළ මෙම ප්‍රශ්නය තවදුරටත් තීව්‍ර වෙලා තියෙනවා. ඒ වගේම ණය නිසා අර්බුදයෙන් ගොඩ ඒමක් අපට නෑ. එක ක්ෂණික විසඳුම් මාර්ගයක් විදිහට ණය තබාගෙන ඊට අමතරව තවත් බොහෝ දේවල් තියෙනවා ඒවාට යොමු විය යුතුයි. ඛනිජතෙල් ගෑස්, ගල් අඟුරු ආදී විදේශ රටවලින් ගෙන්වන දෑ සඳහා අපේ ජාතික මූල්‍ය ඒකකය පාවිච්චි කිරීම කළ හැකියි. ඒ ඒ රටවල් අතර භාණ්ඩ, භාණ්ඩ භාවිත කළ හැකියි. ඒ වගේම විවිධ මුදල් ඒකක හුවමාරු කර ගැනීම පසුගිය කාලය තුළ ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා. ඒවා ආර්ථික අර්බුදයට විකල්පයක් විදිහට භාවිත කළ හැකියි.

l අපටත් විදේශ මුදල් ඒකකයකට යෑම සම්බන්ධයෙන් යෝජනාවක් පැමිණ තිබීම පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?

රුසියාවෙන් කීප වතාවක්ම අපට එහෙම ඉල්ලීම් කර කරලා තියනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ රුසියාව සංවේදීයි. රුසියාව අපට සම්පූර්ණ සහයෝගය දීමට කැමැත්තක් දක්වනවා. නමුත් එකම දෙය අපේ පැත්තෙන් එයට එතරම් අවශ්‍ය ප්‍රතිචාරයක් සහ උනන්දුවක් නොදැක්වීමයි. අපේ ජනාධිපතිතුමා සහ රුසියානු ජනාධිපති අතර දුරකතන සංවාදයක දී එය යෝජනාවක් විදිහට ඉදිරිපත් වුණත් රටවල් දෙක අතර ඉතාම උනන්දුවෙන් සහයෝගයෙන් අන්‍යෝන්‍ය වාසිදායක පදනම් මත ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන සහ භාණ්ඩ භාණ්ඩ හුවමාරු කර ගැනීම, ජාත්‍යන්තර මූල්‍ය ඒකක ඔස්සේ ගනු දෙනු කිරීම යන ආදී වශයෙන් පුළුල් ක්‍රියාමාර්ග එකට අවශ්‍ය සාකච්ඡාවකට මුල පිරීමක් සිද්ධ වුණේ නැහැ. නමුත් ඒ අත්‍යවශ්‍ය දෙයක්. මේ වෙලාවෙදි අපට ලෝක උපායමාර්ගික සම්පත්වලින් සියයට විසි පහක් තිහක් අතර තියෙන්නේ රුසියාවේ. තෙල්, ගල් අඟුරු, ගෑස්, පොහොර හා ආහාර තියෙන්නෙ රුසියාවේ. මේ සම්පත් ප්‍රමාණය ඇමරිකාවෙවත්, යුරෝපයෙවත් නෑ. ඒ නිසා මෙතෙක් කල් අපි නොසලකා හිටපු රටවල්, චීනය සහ අනෙක් රටවල් අතර සම්බන්ධතාවය තහවුරු කර ගැනීම අවශ්‍යයි. එය අපේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමටත්, ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීමටත් ඉතාම වැදගත්.

රුසියාවත් සමඟ මුදල් ඒකකයට ප්‍රවිෂ්ට වීම ඉතාමත් හොඳ දෙයක්. රුසියාව කිසිම රටකට උදව් කරන්නේ දේශපාලන අරමුණකට නෙවෙයි. අතීතයේ අපේ කාර්මික සංවර්ධනයට අවශ්‍ය බැර ලෝහ අපට ලබා දුන්නා. කැලණි ටයර්, වානේ, තෙල් පිරිපහදු මේ වගේ විශාල ද විශාල බැර කර්මාන්ත රාශියකට උදව් කළා. ඒ තුළ අපට විශාද රැකී රක්ෂා බිහි වුණා. රටේ නිෂ්පාදන ඇති වුණා. වෙළෙඳපොළක් ඇති වුණා. අපට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් වුණා. අපේ නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය පදනම නිර්මාණය කිරීමට විශාල සහයෝගයක් එහෙ අය ලබා දුන්නා. ඒ වගේම මේ රටේ දරුවන්ට රුසියාවේ ශිෂ්‍යත්ව ලබා දුන්නා.

වෛද්‍ය ක්ෂේත්‍රයට, ඉංජිනේරු ක්ෂේත්‍රයට අවශ්‍ය විශේෂඥවරුන් දහස් ගණනකට අවස්ථාව දුන්නා. එය මේ දක්වාම සිදුවන දෙයක්. එය අපේ රට ට විශාල ශක්තියක්. මෙයින් ඒ අය ශ්‍රී ලංකාවේ සිදු වෙන කිසිම අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයකට කවදාක්වත් අත ගැසූවේ නෑ. ජාත්‍යන්තර වශයෙන් අපට මතුවන ඕනෑම ප්‍රශ්නයක් වෙන වෙලාවකදී අප වෙනුවෙන් පෙනී සිටියා කොන්දේසි විරහිතව. යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව කොතරම් චෝදනා කළත් අපි වෙනුවෙන් පෙනී සිටියේ අ‍ෙමරිකාවත්, බ්‍රතාන්‍යවත් නෙවෙයි. රුසියාවයි. චීනයයි. ඇතැම් අවස්ථාවලදී ඉන්දියාව පවා අපත් එක්ක මධ්‍යස්ථවයි හිටියේ. ඇමරිකාව කවදාවත් බැර කර්මාන්තවලට ආධාරයක් දුන්නේ නෑ. අ‍ෙමරිකාවේ හැමදාමත් අපට දුන්නේ ණය. ඒ නිසා ණය දෙනවා කියන්නේ, ඩොලර් කොළ අච්චු ගහනවා. ඊට පස්සේ ණය විදිහට අපට දෙනවා. ඒක වෙනමම සංසිද්ධියක්.

මෙවැනි පරිසරයක මේ රටේ මහජනයා ලෙස අප ඉතාමත් ම බුද්ධිමත්ව කටයුතු කිරීම කාලෝචිතයි. ඒ වගේම මේ මොහොතේ අප ගන්නා තීන්දු හා තීරණ රටේ ඉදිරි පැවැත්මට සෘජුවම බලපාන බව ද සිහි තබා ගත යුතුයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 8
බෙදාගන්න
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම හොඳ ප්‍රවේශයක් | Lanka Newsweek