සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දැකීම සිය අභිලාශය බව ඉන්දීය ජනපති කියයි

(නිලන්ති මානෙල්) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරැති ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය…
(නිලන්ති මානෙල්)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරැති ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය කළේය.
ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය හැමවිටම අද්විතීය හා උණුසුම් මට්ටමකින් පැවති බවත්, වර්තමානයේ ඒ මිත්‍රත්වය වර්ධනය කරලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන නායකත්වය අගය කරන බවත් රාම් කෝවින්ද් මහතා පැවසීය.
දැන්වීම
රාම් නාත් ඉන්දීය ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග නවදිල්ලි නුවර රාෂ්ඨපති භවන්හි දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.එහිදී රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය කළේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දැක්ම තමාගේ අභිලාශය බවය.
ඉන්දියාවේ නව ජනාධිපති පදවියට තේරී පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, කැබිනට් මණ්ඩලයේත් සුභ පැතුම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය ජනාධිපතිවරයා වෙත පිරිනැමීය. අත්දැකීම් බහුල රාජ්‍ය පාලකයෙකු වන රාම් නාත් කෝවින්ද් මහතාගෙන් ඉන්දියාවට අතිමහත් සේවයක් සැලසෙනු ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කරලීම පිළිබඳවත්, දෙපාර්ශවය එක්ව සිදු කරනු ලබන සංවර්ධන කාර්යයන්හි ප්‍රමාදයන් දුරු කරලීම පිළිබඳවත් ශ්‍රී ලංකා අගමැතිවරයා කරුණු පැහැදිලි කළ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දීය ආධාර යටතේ ලබා දෙන නිවාස වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.
ඉන්දීය විදේශ ලේකම් එස්. ජයිශංකර්, ජනාධිපති ලේකම් සන්ජේ කොථාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු යන මහත්වරු ඉන්දීය පාර්ශවය වෙනුවෙන් මේ සාකච්ඡාවන්ට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අවස්ථාවට එක්වූහ.
ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අද්විතීය මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී මේ සාකච්ඡා පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමග සිදු කළ සාකච්ඡාවන්හි දී අවධාරණය කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගැණුනු අතර, ඉන්දු - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතීන් කඩිමින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුව එක්ව ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය හා නවීකරණය කරලීම උදෙසා ක්‍රියා මාර්ග ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වූහ.
රනිල්-සෝනියා හමුවක්
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය කොන්ග්රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී පැවැත්විණි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාවට බලපාන ද්විපාර්ශවික කරුණු මෙන්ම කලාපීය දේශපාලන හා සමාජීය ප්රවණතාවන් පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.
හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, කොන්ග්රස් පක්ෂ නියෝජ්‍ය සභාපති රහුල් ගාන්ධි සහ හිටපු අමාත්‍ය ආනන්ද ෂර්මා කොන්ග්රස් පක්ෂය වෙනුවෙන් මේ සාකච්ඡාවට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වූහ.