සමාජ සුභ සාධනය ගැන ජාතික විගණනය කියන්නේ ද සජිත් කියන කතාවමයි

ලක්ෂ 3ක ට අධික සමෘද්ධි ලාභීන්ට වසර 28ක් තිස්සේ දෙපයින් නැගී සිටීමට බැරි වෙලා සමාජ සුභ සාධනයේ අපේක්ෂා කළ අරමුණු-කාර්යභාරයන් ඉටුවී නැහැ තුන් ලක්ෂයකට අධික සමෘද්ධි ලාභීන් පිරිසක් වසර විසි අටක් තිස්සේ…
ලක්ෂ 3ක ට අධික සමෘද්ධි ලාභීන්ට වසර 28ක් තිස්සේ දෙපයින් නැගී සිටීමට බැරි වෙලා
සමාජ සුභ සාධනයේ අපේක්ෂා කළ අරමුණු-කාර්යභාරයන් ඉටුවී නැහැ

තුන් ලක්ෂයකට අධික සමෘද්ධි ලාභීන් පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර අඛණ්ඩව ලබා ගන්නා නමුත් ස්වශක්තියෙන් යුතුව නැගී සිටීම සඳහා ඔවුන් කිසිදු අයුරකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය අවධාරණය කර සිටියි.
මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බව ද, සමෘද්ධි ලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා රජය 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇති බව ද පවසන ජාතික විගණන කාර්යාලය සවිබල ගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇතැයි ද චෝදනා කර සිටියි.
දැන්වීම
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටින්නේ, ඕනෑම සමාජ සුබ සාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර දරිද්‍රතා රේඛාව නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවය.
"අස්වැසුම" වැඩ සටහන ආරම්භ කිරීමට පෙර ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන දුප්පත් සහ දුප්පත් නොවන පිරිස තහවුරු කර ගත යුතුව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.
එහෙත් රජය සිදු කරන්නේ, රටේ විවිධ ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ලබා දුන් මුදල් කිසිදු විනිවිදභාවයකින් තොරව, පුද්ගලයන් ලක්ෂ 20ක් තෝරා ගෙන සිය හිතුමනාපයට අනුව ඔවුන් අතර බෙදා හැරීම බවට ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.
ග්‍රාමීය, නාගරික සහ වතු යන අංශවල පවුල් ලක්ෂ 60ක් පමණ සිටින බවත්, ඔවුන්ගේ ආදායම් මට්ටම් පවා වෙනස් බවත් මේ පවුල්වල ආදායම් සහ වියදම් ගණනය කර දුප්පත්කම නිර්වචනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු බවත් එවැනි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇති නොකිරීම ආණ්ඩු ගණනාවකින් සිදු වූ බරපතළ වරදක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ අනුව පැහැදිලි වන්නේ සමාජ සුබ සාධන ව්‍යාපෘති මගින් අපේක්ෂා කරන ඉලක්ක, අරමුණු සහ කාර්යභාරයන් සම්බන්ධයෙන් රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය ජාතික විගණන කාර්යාලය ද තහවුරු කර සිටින බවය.