අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමාජ මාධ්‍යයෙන් කැපී පෙනෙනවාට වඩා රට වෙනුවෙන් අපට වගකීම් සම්භාරයක් ඇත

සමාජ මාධ්‍යයෙන් කැපී පෙනෙනවාට වඩා රට වෙනුවෙන් අපට වගකීම් සම්භාරයක් ඇත

නායකයෙකු සිය අවධානය දිය යුත්තේ උසුළු විසුළුවලට නොව රටේ ආර්ථිකයටය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා මේ වන විට සමාජ මාධ්‍ය මෙහෙයුම් ඔස්සේ පීඩිත ජනයාට විජ්ජාවන්…

නායකයෙකු සිය අවධානය දිය යුත්තේ උසුළු විසුළුවලට නොව රටේ ආර්ථිකයටය 

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා මේ වන විට සමාජ මාධ්‍ය මෙහෙයුම් ඔස්සේ පීඩිත ජනයාට විජ්ජාවන් පෙන්වීම අරඹා තිබේ. 2019 ජනාධිපතිවරණයේදී සේම උසුළු විසුළුවලට වැඩි තැනක් ලැබෙමින් තිබේ. එහෙත් උසුළු විසුළුවලට සිනා සෙමින් සිටි මහ ජනතාවට 2019න් පසුව සිදුවූ ආර්ථික ඛේදවාචකය හොඳින් මතක ඇතැයි සිතමි.

පසුගිය දින කිහිපයේදී ඇතැමුන් උසුළු විසුළුවලට වැඩි කාලයක් ලබා දෙමින් සිටියදී මම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස හමුවීමටත්, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හමුවීමටත්, ජාතික අපනයන මණ්ඩලයේ සාමාජිකයන් හමුවීමටත් කාලය වෙන් කළෙමි. ඒ, අප රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සිදු කළ යුතු කාර්යභාරයන් වඩාත් හොඳින් පැහැදිලි කර ගැනීම වෙනුවෙනි.

චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන්ගෙන් මා ඉල්ලා සිටියේ අප රට අභ්‍යන්තරයේ නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් බිහි කිරීමට ඔවුන්ගේ සහාය ලබාදෙන ලෙසයි. මේ වන විට ලොව විශාලතම ආර්ථිකය වන චීනයේ සහාය අප රටේ ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කර ගැනීම පිළිබඳව අප අවධානය යොමු කිරීම වැදගත් ය.

දැන්වීම

අප රටේ ආර්ථිකයෙන් 50%කට වැඩි කොටසක් උසුලන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමගින්, ඔවුන්ගේ ණය ගෙවීමේ හැකියාව සහ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළෙමි. ඒ, අප රටේ ආර්ථික කොඳු නාරටිය රැක ගැනීම වෙනුවෙනි. "පරාටේ නීතිය" හරහා ඔවුන්ව එක් කොණකට තල්ලු කිරීමට ඇතැම් වාණිජ සහ මුල්‍ය ආයතන උත්සාහ කළ ද, ප්‍රධාන විපක්ෂය වශයෙන් පාර්ලිමේන්තුවේදී සහ පාර්ලිමේන්තුවෙන් පිටතදී හඬ නගා ඔවුන් වෙනුවෙන් සහන කාලයක් ලබා ගැනීමට අප සමත් විය.

අපනයන මණ්ඩලය සමගින් කළ සාකච්ඡාව වටිනා එකක් විය. ඔවුන් බලාපොරොත්තු වන රටේ නායකයාගෙන් ඔවුන්ට විමසීමට බොහෝ ප්‍රශ්න සහ ගැටලු තිබිණි. එබැවින් දත්ත සහ සංඛ්‍යාලේඛන සමග ගෝලීය ආර්ථිකය සහ අපනයන ක්ෂේත්‍රය ගැන මවිසින් කළ කතාවෙන් පසුව, ඔවුන් මා වෙත ඔවුන්ගේ ප්‍රශ්න යොමු කළේය. රාත්‍රී 11 පමණ වන තෙක් ඔවුන් සමග කළ සාකච්ඡාව, ඔවුන්ට ඇපැහැදිලිව තිබූ බොහෝ ඉසව් ගැන පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කළ බව දැන ගන්නට ලැබුණි.

රටක නායකත්වය කරා යන ගමනේදී යමෙකු උසුළු විසුළුවලට ලබා දෙන තැනට වඩා, ආර්ථික කරුණු ගැන ලබා දෙන තැන විසින් ඔහුගේ නායකත්ව ශක්‍යතාවය කියා පාන්නේය. එවැනි නායකයෙකුට උගත් බුද්ධිමත් තාර්කික ජනතාවක් එක්වූ දිනෙක, එරට වේගයෙන් ඉදිරියට යාම කිසිවෙකුටවත් නතර කළ නොහැකිය. ඔබට ජය වේවා..!

විපක්ෂ නායක 

-සජිත් ප්‍රේමදාස-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සමාජ මාධ්‍යයෙන් කැපී පෙනෙනවාට වඩා රට වෙනුවෙන් අපට වගකීම් සම්භාරයක් ඇත | Lanka Newsweek