අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සමනලුන්ට වෙඩි තියන්න..!

සමනලුන්ට වෙඩි තියන්න..!

මෛත්‍රී එදා රනිල් ගැන කී කතා..! මහින්දට ආයෙත් වෙන්න යන දේ..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) මෛත්‍රීපාල 2016 සැප්තැම්බර් 10 පැවති එජාප සම්මේලනයේදි රනිල් ගැන අපුරු කතාවක් කීවේය. පහත දැක්වෙන්නේ එම කතාවය.…

මෛත්‍රී එදා රනිල් ගැන කී කතා..!

මහින්දට ආයෙත් වෙන්න යන දේ..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

මෛත්‍රීපාල 2016 සැප්තැම්බර් 10 පැවති එජාප සම්මේලනයේදි රනිල් ගැන අපුරු කතාවක් කීවේය. පහත දැක්වෙන්නේ එම කතාවය.

"2015 ජනවාරි 05 අවසාන රැස්වීම තිබුනේ මරදානේ. මගේ ආරක්ෂක නිලධාරීන් කිවේ මරදානේ රැස්වීමට කොහොමත් සර්ව ගෙනියන්න බෑ. ආරක්ෂක හේතූන් මත. ආරක්ෂක නිලධාරීන්ට මම  කිව්වා නෑ  මම යන්නම ඕනා. නමුත් සර් කිව්වට අපි සර්ව එක්කගෙන යන්නේ නැහැ කියලා.මාව  ගෙදර දමල ඒ ඔක්කොම ගෙවල්වලට ගියා. මගේ රියැදුරන් පවා යන්න ගියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට  දුරකතනයෙන් කතා කළා. මම කිව්වා මට එන්න විදිහක් නැහැ කියලා. එතකොට එතුමා කිව්වා ඔබතුමාව එක්කගෙන යන්න මම එනවා කියලා. ඒ ඇවිල්ලා අපි මරදානේ රැස්වීමට ගියා.මාව වේදිකාවට නග්ගල රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාව අතරට වේදිකාවෙන් බැහැලා දිගටම ගියා. මෙහෙම කරලා හිටන් අත් දෙකම ඔසවලා වේදිකාවට ආවා. එතුමා ඒ පෙන්නුවේ ඔබට අපේ රැස්වීමේ කිසිම අනතුරක් නැහැ.වගකීම මම භාරගන්නවා කියලයි. එහෙ මෙහෙ යනකොට මම දැක්කේ හරියට රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 20-25 කොලේලෙක් හැසිරෙන විදියයි. ඒ තරම් තරුණ විදිහට ,එඩිතර විදිහට ඒ වේලාවේ හැසිරුණා .."

එදා මෛත්‍රීපාල මේ කතාව කරද්දී සම්මේලනයට ආ යු.ඇන්.පී . කාරයෝ මහා හයියෙන් හුරේ දැමුහ.හරියටම ඊට වසර තුනකට පස්සේ මෛත්‍රී ශ්‍රීලනිප පොදුජන පෙරමුණු ජන රැළියක රනිල්ට සමනලයා කියා සමච්චල් කරද්දී පොදුජන පෙරමුණේ මහින්දවාදී පාක්ෂිකයෝ හුරේ දැමුහ.

2015  දී අවුරුදු 20-25 තරුණ එඩිතර කොල්ලෙක් වගේ රනිල්ව දුටු මෛත්‍රීට  එක පාරට රනිල්ව සමනලයෙක්  ලෙස පෙනුනේ කොහොමද..?

මෛත්‍රීට -රනිල්ව සමනලයෙක් ලෙස පෙනෙන්න ඇත්තේ මෛත්‍රී බඹරෙක් වගේ ආණ්ඩුවට අනින කොට රනිල් සමනලයෙක් වගේ ඉගිල ගිය නිසාද කියන්න දන්නේ නැත. ඒ වෙලාවේ රනිලුත් බඹරෙක් වගේ ඇන්නා නම් අද පක්ෂයත් ගොඩය. ආණ්ඩුවත් ගොඩය. රටත් ගොඩය.

මෛත්‍රී ජනාධිපති ධුරයට පත්වී දින 100න්  පාර්ලිමේන්තුව විසුරුවන බවට මෛත්‍රී දුන් පොරොන්දුව කඩකරද්දී රනිල්ලා මොකුත් කීවේ නැත. රනිල්ලා සිටියේ සමනල්ලු වගේය. 2015 මහ මැතිවරණයේ මහින්දට නාම යෝජනා දෙද්දී රනිල් සිටියේ සමනලයෙක් වගේය. ගෝඨාභයව උසාවි කුඩුවට නැග්ගුවා කියා රනිල් අල්ලස් සහ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් ධුරයට පත් කළ දිල්රුක්ෂි ඉවත් කරන්න යැයි මෛත්‍රී කෑ ගසද්දී රනිල් ඇයට ඉවත් වෙන්න කීවේ සමනලයෙක් වගේය.

බැඳුම්කරය ගැන හොයන්න කොමිසමක් පත්කොට රනිල්ව එහි සාක්ෂි සඳහා කැඳවද්දී රනිල් කොමිසමට ගියේ සමනලයෙක් වගේය. බැඳුම්කර හොරු අල්ලන්න දෙන්නේ නැතිව රනිල් කකුලෙන් අදිනවා යැයි මෛත්‍රී 2018 පුංචි ඡන්දයේ වේදිකාවක් වේදිකාවක් ගානේ කිය කියා යද්දී රනිල් උත්තර නොදුන්නේ සමනලයෙක් වගේය.

මෛත්‍රීගේ ශ්‍රීලනිප ඇමතිවරු රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එද්දී රනිල් එයට මුහුණ දුන්නෙත් සමනලයෙක් වගේය.  රනිල්ගෙන් මහ බැංකුව ගලවද්දී රනිල් අහක බලාගෙන හිටියේ සමනලයෙක් වගේය. රනිල්ගේ ආර්ථික කමිටුව අහෝසි කොට මෛත්‍රීගේ මිනිස්සු පත්කොට ආර්ථික කවුන්සිලයක් හදද්දී රනිල් මුනිවත රැක්කේ සමනලයෙක් වගේය. රනිල්ගේ සහෝදරයා වූ ශාන්ගේ රුපවාහිනියේ විකාශනාගාර අත්හිටුවද්දී රනිල් බිම බලාගෙන උන්නේ සමනලයෙක් වගේය.

දැන් මෛත්‍රී ඉන්නේ සමනලයෙක් සහ  සමනල රෑනක් සමග නොව මෛත්‍රීගේ වචනවලින් කියනවා නම් ඔහුව අඩි 06ක් යටට වළලන්න ගිය රාජපක්ෂලා සමගය. වරක් මහින්දට  අගමැති ධුරය දෙන්න යැයි  මහින්දවාදීන් මෛත්‍රීගෙන් ඉල්ලු විට ඔහු කිව්වේ මහින්දට අගමැති ධුරය දුනහොත් තමාගේ ජනාධිපති පුටුවට තියෙන දුර උණ්ඩයක දුර කියාය. සමනල්ලු එක්ක කරපු සෙල්ලම් එහෙව් රාජපක්ෂ එක්ක කරන්න බැරිය.

මෛත්‍රී 2015 ජනාධිපතිවරණයට ඇවිත් කිව්වේ තමා ශ්‍රීලනිපයේ ලේකම් වුණත්, තමාව රාජපක්ෂලා පඹයෙක් කළා කියාය. පක්ෂ ලේකම් ලෙස තමාට තීරණ ගන්න දුන්නේ නැහැ කියාය. හොඳම නිදසුන මෛත්‍රීට පහර පිට පහර ගැසූ මර්වින් සිල්වාට එරෙහිව විනය ක්‍රියමාර්ග ගත නොහැකිව පක්ෂ ලේකම් ලෙස මෛත්‍රී සිටි අසරණ තත්ත්වයය.

මෛත්‍රී කෘෂිකර්ම ඇමති කාලයේ මෛත්‍රීට නොදන්නවා මහින්ද අමාත්‍යංශය තුළ ගත් තීරණ, මෛත්‍රී සෞඛ්‍ය ඇමති කාලයේ සිගරට් පැකට්වල රූපමය අවවාද දමාගන්න බැරිව මෛත්‍රී වින්ද දුක, මහින්ද මෛත්‍රීව ගණන් නොගෙන ලේකම් හරහා සෞඛ්‍ය අමාත්‍යංශය පාලනය කළ ආකාරය රටට කිවේ මෛත්‍රීමය.

"මම දැන් ජනාධිපති මහින්දට ඒ සෙල්ලම් දැන් බෑ .."

මෛත්‍රී හිතනවද දන්නේ නැත. චන්ද්‍රිකා 2004 මහින්දට අගමැතිකම දෙද්දීත් හිතුවේ එහෙමය. හැබැයි වැඩි කලක් ගියේ නැත. මහින්ද ශ්‍රීලනිපය පමණක් නොව එක්සත් ජනතා නිදහස් සන්ධානයම තමන් යටතට ගෙන චන්ද්‍රිකාව බිත්තියට තියල හේත්තු කළේය.මෛත්‍රීටත් ඒ වගේම ගහන්න පුළුවන් යැයි මහින්ද හිතනවා විය යුතුය. මහින්ද මෛත්‍රීගේ ඇඟිල්ල තියලා සමනල්ලුන්ට කොකා ගැස්සුවේ ඒ නිසාය.

හැබැයි මහින්ද එකක් දත යුතුය. නිදහසින්  පසු ලංකාවේ වාර දෙකක් රජ කරපු නායකයෙක්ට ආයෙත් රජකම හිමිවෙලා නැත. ඩඩ්ලි,සිරිමාවෝ,ජේ.ආර්, චන්ද්‍රිකා,මහින්ද හැමෝටම ස්වභාවධර්මයෙන් දුන් තීන්දුව ඒකය.

2018 පුංචි ඡන්දයේ ප්‍රතිඵල බලන කොට මහින්ද ඒ තීන්දුවට අභයෝග කරන්න යන බවක් පෙනුණි. හැබැයි හොර පාරෙන් අගමැතිකම භාරගන්න ගිහින් අද මහින්ද 113 නැතිව වැටිලා තියෙන වැටිල්ල දිහා බලන විට මහින්දට ස්වභාවධර්මයට අභියෝග කරන්න බැරි බව පැහැදිලිය.

මෛත්‍රී කියන්නේ මහින්දගේ විනාශයය. 2015 ජනාධිපතිවරණයේ වුණෙත් 2015 මහ මැතිවරණයේ  වුණෙත්,මේ පාර වෙන්න යන්නෙත් ඒකය. මෛත්‍රී දැනුවත්ව හෝ නොදැනුවත්ව මහින්ද විනාශ කරන චරිතය බවට පත් වුණේ කොහොමද කියා මහින්දට ඕනෑ නම් හිටපු රාජකීය ජ්‍යෝතිෂවේදියගෙන් දැනගත හැකිය.

සමනලුන්ට වෙඩි තියන්න..!

-ගුරුදා විග්‍රහය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
සමනලුන්ට වෙඩි තියන්න..! | Lanka Newsweek