අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් වෙනුවෙන් කරූ හඬ නගයි

සජිත් වෙනුවෙන් කරූ හඬ නගයි

විපක්ෂ නායකයාට පොලීසිය කළ බාධාව පිළිකුලෙන් හෙළා දකියි "රට ඒකාධිපති පොලිස් රාජ්‍යයක් කරා මෙහෙය වන බව යළිත් ඔප්පු වුණා" (නිලන්ති මානෙල් චන්ද්‍රසේන) රටේ රාජ්‍ය ආයතනයක් වන පොලිස් ස්ථානයකට ඇතුළු වීමට…

විපක්ෂ නායකයාට පොලීසිය කළ බාධාව පිළිකුලෙන් හෙළා දකියි 

"රට ඒකාධිපති පොලිස් රාජ්‍යයක් කරා මෙහෙය වන බව යළිත් ඔප්පු වුණා"

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන)

රටේ රාජ්‍ය ආයතනයක් වන පොලිස් ස්ථානයකට ඇතුළු වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන අයිතිය උල්ලංඝනය කරමින් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔහුට සිදු කර ඇති බාධා කිරීම අතිශයින්ම පිළිකුල් සහගත වන අතර එම සිද්ධිය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම සිදුවීම මගින් නැවත වරක් ප්‍රදර්ශනය කර ඇත්තේ, ශිෂ්ඨ සම්පන්න ලෝකය පිළි ගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිටු දකිමින් ආණ්ඩුව ඒකාධිපතිත්වය හරහා ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් කරා මෙහෙය වමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ. 

එම සිද්ධිය තරයේ හෙළා දකිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

දැන්වීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට රටේ රාජ්‍ය ආයතනයක් වන පොලිස් ස්ථානයකට ඇතුළුවීමට ඉඩකඩ අහුරාලමින් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කර ඇති බාධා කිරීම අතිශයින්ම පිළිකුල් සහගතය. එම ක්‍රියාව රටේ ප්‍රමුඛතම මහා ජන නියෝජිතයෙකු සතු විය යුතු වරප්‍රසාදයන්ට චේතනාන්විතවම එරෙහිවීමකි. එමෙන්ම නීති සම්පාදනය කිරීමේ වගකීමද ඇතුළත් රටේ පාර්ලිමේන්තුවට සිදු කරන ලද බලවත් අවමානයකි. 

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මෙම සිදු වීම කෙරෙහි බලවත් අවධානය යොමු කරන අතරම එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහා ජන වරමකින් තේරී පත් වන මන්ත්‍රීවරුන්ට ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු පිළිබදව වගේම ඔවුන් මුහුණ දෙන අභියෝගයන්හිදී පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයට නායකත්වය ලබා දෙන විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට ඒ සදහා විශේෂ වගකීමක් සේම අයිතියක් ද තිබේ. 

එවැනි අවස්ථාවක ඊට කිසිවෙකු හෝ බාධා කරන්නේ නම් එම ක්‍රියාව සැලකිය හැක්කේ ජනතාවට සේම රටේ උත්තරීතර ආයතනයද වන පාර්ලිමේන්තුවට කරන ලද අපහාසයක් ලෙසටය. මෙම සිදුවීම මගින් නැවත වරක් ප්‍රදර්ශනය කර ඇත්තේ ඒකාධිපතිත්වය හරහා ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න ලෝකය පිළි ගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිටු දකිමින් පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරන මාවතකට යොමුවී ඇති බවය. එම බිහිසුණු ගමනින් රට මුදා ගැනීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලුම ආයතනයන්හි වගකීමක් බව අවධාරණය කරන අප සංවිධානය මෙම සිදු වීම පිළිබදව සාධාරණ පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සජිත් වෙනුවෙන් කරූ හඬ නගයි | Lanka Newsweek