අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සජිත් පන්නා පාඨලී බලය අල්ලන හැටි මෙන්න

සජිත් පන්නා පාඨලී බලය අල්ලන හැටි මෙන්න

අනුරුද්ධ ප්‍රදීප්ගේ කතාවක් "Leak" වෙයි පාඨලීගේ 2025 මෙහෙයුම පිටුපස සජිත්ගේ අග සව්වන් දෙදෙනෙක් ජනපතිවරණ ව්‍යාපාරයට සල්ලිත් ලෑස්තියිලු පාඨලීගේ "Game" එක ගැන සජිත් දන්නවාලු සමගියේ නායකයින්-විශ්ව…

අනුරුද්ධ ප්‍රදීප්ගේ කතාවක් "Leak" වෙයි 

පාඨලීගේ 2025 මෙහෙයුම පිටුපස සජිත්ගේ අග සව්වන් දෙදෙනෙක් 

ජනපතිවරණ ව්‍යාපාරයට සල්ලිත් ලෑස්තියිලු 

පාඨලීගේ "Game" එක ගැන සජිත් දන්නවාලු 

සමගියේ නායකයින්-විශ්ව විද්‍යාල ආචාර්යවරුන්-මාධ්‍යවේදීන් සජිත් දැනුම්වත් කරලා

සමගි බලයේ නායකයෙක් "lankanewsweek" වෙත කරුණු තහවුරු කරයි

සජිත් පන්නා පාඨලී බලය අල්ලන හැටි මෙන්න

(සුජිත් මංගල ද සිල්වා)    

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය 2023 දී අවසන් වන අතර අනතුරුව එම කඳවුරේ නායකත්වය ගන්නා පාඨලී චම්පික රණවක මහතා 2025 දී සියලු බලවේග එකට ඒකරාශී කර ගෙන පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබද කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා පවසා තිබේ. 

කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය මහතා මේ බව කියා තිබෙන්නේ මීට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූ මහාචාර්ය බුද්ධි ප්‍රභා පතිරණ මහත්මියගේ අවමඟුල් උත්සවයට සහභාගී වී සිටි විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් ප්‍රධාන විද්වතුන් පිරිසක් සමගය.

දැන්වීම

මහාචාර්ය බුද්ධි ප්‍රභා පතිරණ මහත්මියට සිය අවසන් ගෞරවය දැක්වීම සඳහා කොළඹ බත්තරමුල්ලේ පිහිටි ඇයගේ නිවසට විශ්ව විද්‍යාල ප්‍රජාව නියෝජනය කරමින් විද්වතුන් රැසක් එක්ව සිටි අතර අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය මහතා මේ කතාව කියද්දී, එම ස්ථානයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් රැසක්ම සිටියහ. 

කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය මහතා පාඨලී චම්පික රණවක මහතාගේ අතිශය සමීපතම දේශපාලන සහ පෞද්ගලික සගයෙකු වන අතර ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවද නියෝජනය කරයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස පාඨලී චම්පික රණවක මහතා 2025 දී කරළියට පැමිණෙන හෙයින් මේ මොහොතේ සිටම ඔහු වටා එකට ඒකරාශී වන ලෙස අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය මහතා එම අවමඟුල් උත්සවයට එක්ව සිටි විශ්ව විද්‍යාල මහාචර්ය සහ ආචාර්යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් ද කර ඇත. 

පාඨලී චම්පික රණවක මහතාගේ මේ දේශපාලන යටි සැලැස්ම අරමුණ සහ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ද, විශ්ව විද්‍යාල මහාචාර්ය-ආචාර්යවරුන් සහ ජනමාධ්‍යවේදීන් ද ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව මේ වන විටත් දැනුම්වත් කර තිබේ. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුගෙන් "lankanewsweek" සෙනසුරාදා (18) රාත්‍රියේ කළ කරුණු විමසීමකදී, ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන අතර පාර්ශව ගණනාවක් මේ කාරණයට අදාළව ඔහුව දැනුම්වත් කර තිබෙන  බවය.

පාඨලී චම්පික රණවක මහතා 2025 ජනපතිවරණ සටනට ගෙන එන සැලසුම පිටුපස සජිත් ප්‍රේමදාස මහතාගේම අග සව්වන් දෙදෙනෙකු සිටීම විශේෂයෙන් කැපී පෙනෙන සිද්ධියක් වන අතර "lankanewsweek" තොරතුරු මුලාශ්‍රවලට සිදුවිය හැකි අගතිය මත එම පුද්ගලයින් දෙදෙනාගේ නම් හෙළි කිරීමෙන් වැළකි සිටීමට අපි වගබලා ගනිමු.

පාඨලී චම්පික රණවක මහතාගේ අනාගත ජනපතිවරණ ව්‍යාපාරය සහ ඒ සඳහා තිබෙන මුල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද මේ කණ්ඩායම මීට දින ගණනාවකට පෙර සකච්ඡා කර ඇති අතර යම් හෙයකින් පාඨලී චම්පික රණවක මහතා කරළියට ගෙන එන්න නොහැකි වුණොත් ඊට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ගෙන ආ ලෝක පූජිතයෙකු කරළියට ගැනීම කෙරෙහි ද එම කණ්ඩායමේ විශේෂ අවධානය යොමු වී තිබේ. 

එක්සත් ජාතික පක්ෂය මුල සිටම දැරූ ස්ථාවරය වන්නේ ද එම පක්ෂය දෙකඩ කඩා සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයෙන් එළියට ගෙන ගියේ පාඨලී චම්පික රණවක මහතා වන අතර ඔහු එසේ කළේ 2025දී සිය ජනපති සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් වන බවය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් කළ අතර "පාඨලීගේ තුට්ටු දෙකේ කුමන්ත්‍රණ ගැන නවින් හෙළිකරයි" යන ශීර්ෂය යටතේ "lankanewsweek-TV"  "YouTube" නාළිකාව එම ප්‍රවෘත්තිය 2020 ජූලි මස පළමු වැනිදා පළ කළෙමු.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පරදවා  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට පාඨලී චම්පික රණවක මහතා ක්‍රියාත්මක කර තිබෙන මෙහෙයුම සම්බන්ධයෙන්ද එම පක්ෂයේ නායකයින්ගේ විශේෂ අවධානය යොමු වී ඇති අතර දේශපාලන විචාරකයින් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක් "lankanewsweek" සමග කියා සිටියේ පාඨලී චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතා පරදවා මනාප ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණිය හොත් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ශරීර සෞඛ්‍යට එම තත්ත්වය කිසිසේත් යහපත් නොවනු ඇති බවය.             

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න