අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගේ හුස්ම ගැන පැහැදී චීනයෙන් ලක්ෂ 196ක් පරිත්‍යාගයක්

සජිත්ගේ හුස්ම ගැන පැහැදී චීනයෙන් ලක්ෂ 196ක් පරිත්‍යාගයක්

"මම කරන්නේ දේශපාලනය නොව දේශ සේවයයි" මේ වන විට ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුතු රෝහල් උපකරණ පරිත්‍යාග කරලා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතයෙන් දැඩි අර්බුදයකට පත් ශ්‍රී ලංකාවේ රෝහල්වල සෞඛ්‍යය නගා…

"මම කරන්නේ දේශපාලනය නොව දේශ සේවයයි"

මේ වන විට ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුතු රෝහල් උපකරණ පරිත්‍යාග කරලා 

(සුජිත් මංගල ද සිල්වා)

COVID-19 වසංගතයෙන් දැඩි අර්බුදයකට පත් ශ්‍රී ලංකාවේ රෝහල්වල සෞඛ්‍යය නගා සිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩ සටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩ සටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින "Kidney Dialysis Machine" සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය බදාදා (22) කටයුතු කළ අතර එම මුදල සහමුලින්ම ණය මුදලක් නොවන පරිත්‍යාගයක් වන බව චීන නියෝජිතයෝ පැවසූහ. 

මෙම ආධාර මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් අවධාරණය කළේ ද සිය රටේ පුරවැසියන් වෙනුවෙන් ණය මුදලක් වෙනුවට පරිත්‍යාගයක් ලබා දෙන ලෙස වන අතර චීන නියෝජිතයින් පැවැසුවේ අදාළ වැඩ සටහන සහ එහි  පවත්නා විනිවිදභාවය පිළිබඳව විශාල පැහැදීමක් ඇති වූ නිසා මෙම මුල්‍ය පරිත්‍යාගය ලබා දෙන බව පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩ සටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොට ගෙන "ජන සුවය" ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කෙරෙන "හුස්ම" සමාජ සත්කාර වැඩ සටහන මේ වන විට අදියර තිස් හතරක් පවත්වා තිබේ.

ඒ හරහා රෝහල්වලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබා දීමට කටයුතු කෙරෙන අතර ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු වන බව තමාට නිරීක්ෂණය වී ඇතැයි  කොළඹ චීන තානාපති "කී සෙන්හොංග්" මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව ස්වකීය අවධානය යොමු කළ චීන රජය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට අදාළ පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කරනු ලැබීය.

ශ්‍රී ලාංකික ජනතාවගේ සුභසිද්ධිය සහ සෞඛ්‍යය වර්ධනය කිරීම වෙනුවෙන් චීනය ලබා දුන් මෙම පරිත්‍යාගය පිළිබඳව ස්වකීය කෘතවේදීත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද කරන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්ප්‍රදායක විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික කැපවීම සමගි ජන බලවේගය ආදර්ශයෙන්ම පෙන්වන බව ද පැවසීය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් නොකළ සංවර්ධන කටයුතු රැසක් බලය නැතිව පවා ඉටු කිරීමට සිය පක්ෂයට හැකිවූ බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා කරන්නේ සිදු කරන්නේ දේශපාලනය වෙනුවට දේශ සේවය බවද පැවසීය.

COVID-19 වසංගතය හේතු කොට ගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එකට එක්ව මෙම "විපක්ෂයෙන් හුස්මක්" වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙන අතර මේ වන විට තිස් හතර වතාවක දී ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබ ඇත. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සජිත්ගේ හුස්ම ගැන පැහැදී චීනයෙන් ලක්ෂ 196ක් පරිත්‍යාගයක් | Lanka Newsweek